පුද්ගල සහජීවනය බිඳ වැටීමට මුල් වන කරුණක් සේ වාද විවාද ඇති වීම පෙන්වාදිය හැකි ය. වර්තමානයේ බොහෝ අය කිසි හරයක් නොමැති කාරණා පිළිබඳ නිමක් නැති වාද විවාද කරමින් කාලය ගත කරන අයුරු බහුලව දැකගත හැකිය. එහිදී ඔවුහු තමන්ගේ වටිනා කාලය විනාශ කර ගැනීමත්, එකිනෙකා අතර පවතින සහජීවනයට බාධා පමුණුවා ගැනීමත් සිදු කරති. නමුත් චූලගෝසිංහ සූත්‍රය අපට කියා දෙන්නේ විවාද රහිත බව අප අතර යහපත් ජීවන පැවැත්මක් ඇති කරන බවයි. එය පුද්ගලයාට හා සමාජයට යන දෙඅංශයට ම වැඩදායක වන බවයි. තමන් සමඟ කටයුතු කරන සාමාජිකයන් ඇති තැනක් නැති තැනත් (හමුවෙහි/ නොහමුවෙහි) ඔවුන් පිළිබඳ මෛත්‍රියෙන් ක්‍රියා කිරීම (මෙත්තං කාය කම්මං) මෛත්‍රියෙන් කතා කිරීම (මෙත්තං වචී කම්මං) මෛත්‍රීයෙන් සිතීම (මෙත්තං මනෝ කම්මං)

අධිකරණ සහ නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ
ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුවේ ශාස්ත්‍රපති
උඩුබද්දාවේ අස්සජී හිමි

සෑම සමාජයක් ම නිර්මාණය වීමේ දී පුද්ගලයාට හිමි වන්නේ ඉතා ඉහළ අගයකි. එසේ වුවත් සමාජ විද්‍යාඥයන් අර්ථ දක්වන ආකාරයට පුද්ගලයන් සිටිය පමණින් සමාජයක් බිහි නොවේ. ඒ සඳහා පුද්ගලයා ක්‍රියා සහ අන්තර් ක්‍රියා පැවැත්විය යුතු වේ. මෙම ක්‍රියා සහ අන්තර් ක්‍රියා පැවැත්වීමේ දී පුද්ගලයා හා අන්‍යයන් අතර ගොඩ නැගෙන සබඳතාව තුළින් සමාජයක අඛණ්ඩ පැවැත්ම තහවුරු වේ. ඔවුන් අතර ගොඩනැගෙන සම්බන්ධය යහපත් නම් එකී සමාජයේ සමාජ අනුකලනය ශක්තිමත් වේ. සමාජ ප්‍රගමනය වඩා හොඳින් සිදුවේ. නමුත් සමාජ සම්බන්ධය ගැටුම් සහිත නම් එකී සමාජයේ සමාජ ඒකාබද්ධතාවය බිඳ වැටේ. මේ නිසා යහපත් සමාජ පැවැත්මකට පුද්ගල සහජීවනය, එසේ නැතිනම් එකිනෙකා අතර යහපත් ජීවන පැවැත්ම, අත්‍යවශ්‍ය සාධකයක් වේ.

සහජීවනය ඇති කර ගැනීම සඳහා මඟ පෙන්වන ධර්ම කරුණු රාශියක් බුදුන් වහන්සේ දේශනා කළ සේක. මංගල සිඟාලෝවාද , පරාභව, කරණීය මෙත්ත ආදී සූත්‍ර දේශනා ගණනාවක මේ කරුණු ගැබ් ව තිබේ. මජ්ක්‍ධිම නිකායේ මහා යමක වග්ගයේ “චූල ගෝසිංහ “ සූත්‍රයේ ද සහජීවනය ගොඩනගා ගැනීමට අවශ්‍ය වන කාරණා රැසක් දැකගත හැකිය. එහි දී මූලිකව ම පුද්ගලයන් අතර සහජීවනය ඇති කර ගැනීමට අවශ්‍ය වන පොදු කාරණා කිහිපයක් දැක ගත හැකිය. ඒවා නම්

01.සමගිව කටයුතු කිරීම (සමග්ගා)
02.සතුටුව කටයුතු කිරීම (සම්මෝදමානා)
03.විවාද රහිතව කටයුතු කිරීම (අවිවාදමානා)
04.වෙන් නොවී කටයුතු කිරීම (ඛීරෝදකී භූතා)
05.පි‍්‍රයශීලීව කටයුතු කිරීම (අඤ්ඤ මඤ්ඤං පිය චක්ඛු සම්පස්සන්නා )

යන කරුණුයි. කවරම හෝ සමාජයක පුද්ගලයන් අතර සහජීවනය ගොඩ නගා ගැනීමට සමගි බව අතිශය වැදගත් වේ. පුද්ගලයන් සමගි සම්පන්නව සිටින තෙක් ඔවුන් තුළ යහපත් ජීවන පැවැත්මක් ඇතිකර ගත හැකිය. සමගිය බිඳ වැටීම ගැටුමේ ආරම්භයයි. එය සහජීවනය විනාශ කර දමයි. එ සේම සහජීවනය ඇති කිරීමට බලපාන තවත් කාරණයකි. පුද්ගලයන් අතර පවතින සබඳතා සතුටු සිතින් යුතුව පවත්වා ගැනීම. ඒ තුළින් එකිනෙකා අතර උද්යෝගය වැඩි දියුණු වේ. ප්‍රසන්න බව ඇති වේ. පුද්ගල සහජීවනය බිඳ වැටීමට මුල් වන කරුණක් සේ වාද විවාද ඇති වීම පෙන්වාදිය හැකි ය. වර්තමානයේ බොහෝ අය කිසි හරයක් නොමැති කාරණා පිළිබඳ නිමක් නැති වාද විවාද කරමින් කාලය ගත කරන අයුරු බහුලව දැකගත හැකිය. එහිදී ඔවුහු තමන්ගේ වටිනා කාලය විනාශ කර ගැනීමත්, එකිනෙකා අතර පවතින සහජීවනයට බාධා පමුණුවා ගැනීමත් සිදු කරති. නමුත් චූලගෝසිංහ සූත්‍රය අපට කියා දෙන්නේ විවාද රහිත බව අප අතර යහපත් ජීවන පැවැත්මක් ඇති කරන බවයි. එය පුද්ගලයාට හා සමාජයට යන දෙඅංශයට ම වැඩදායක වන බවයි.

එසේම බෙදී වෙන් නොවී එකට එක්ව කටයුතු කිරීම ද සහජීවනයේ ප්‍රමුඛ ලක්ෂණයකි. පුද්ගලයන් අතර විවිධ බෙදීම් නිර්මාණය වූ විට පොදු එක් අරමුණක් කරා සාර්ථකව ළඟා විය නොහැකිය. ඒ නිසා එකට එක්වීම, එක්ව කටයුතු කිරීම පුද්ගල පැවැත්ම හා සමාජ පැවැත්ම තහවුරු කරයි. එමෙන් එකිනෙකා පි‍්‍රයශීලිව ඉතා ප්‍රසන්නව පි‍්‍රය වූ ඇසින් යුක්තව සබඳතා පැවැත්වීමද සහජීවනය සඳහා හේතු වේ. එහිදී සෑම දෙනාම එකිනෙකා දැකීමට පි‍්‍රය කරති. එවිට සිදු කරන කාර්ය පවා උනන්දුවකට පි‍්‍රය උපදවන ලෙස කිරීමට හැකියාවක් ඇතිවේ. සමාජය තුළ සහජීවනය ගොඩනැංවීමේ දී එක් එක් පුද්ගලයා තුළ ඇති පුද්ගල ආකල්ප ද බලපානු ලැබේ. මේ නිසා සහජීවනය සඳහා පුද්ගල ආකල්ප සකසා ගත යුතු වන්නේ කෙසේද යන්න පිළිබඳවත් චූලගෝසිංහ සූත්‍රයෙහි කරුණු දැක්වේ. එහිදි මතුකරගත හැකි කාරණා කිහිපයක් ඇත. එනම්,

01. තමා සබඳතා පවත්වන පිරිස තමාට ලාභයක් සේ සිතීම (ලාභා වතමෙ)

මෙහිදී සෑම පුද්ගලයෙක්ම තමාට වටිනා බව, ප්‍රයෝජනවත් බව එක් එක් පුද්ගලයා සිතයි. එවිට සෑම දෙනා කෙරෙහිම එක්වන් සිතින් කටයුතු කිරීමට හැකි මානසික මට්ටමක් ඔවුන් තුළ නිර්මාණය වේ. එය සහජීවනය සඳහා හොඳ පදනමක් ඇති කරයි. ඒ වගේම එක් එක් පුද්ගලයා අනෙක් පුද්ගලයාට කරදරකාරයෙකු පීඩා ගෙන දෙන්නකු බවට පත් නොවේ. හැම දෙනාටම හැම දෙනාම වටිනා සම්පතක් සේ සිතයි. එවිට තමා අවට සිටින්නන් ලාභයක් සේ තමාට දැනෙයි.

02 . තමන් සමඟ කටයුතු කරන සාමාජිකයන් ඇති තැනක් නැති තැනත් (හමුවෙහි/ නොහමුවෙහි) ඔවුන් පිළිබඳ

මෛත්‍රියෙන් ක්‍රියා කිරීම (මෙත්තං කාය කම්මං)
මෛත්‍රියෙන් කතා කිරීම (මෙත්තං වචී කම්මං)
මෛත්‍රීයෙන් සිතීම (මෙත්තං මනෝ කම්මං)

මෙහිදී සුවිශේෂ අවධානය යොමු කළ යුතු කාරණයක් වන්නේ සබඳතා පවත්වන පුද්ගලයා හමුවෙහි හා නොහමුවෙහි ඔවුන් පිළිබඳ ක්‍රියා කිරීම, කථා කිරීම පමණක් නොව සිතින් සිතීම ද මෛත්‍රියෙන් යුක්තව සිදු කිරීමයි. සමාජයේ ජීවත් වන බොහෝ අය, අනෙකා ඇති තැන හොඳින් කටයුතු කරන අතර නැති තැන ඊට පටහැනිය ක්‍රියා කරයි. කෙනකු සම්බන්ධව කතා කිරීමේදී ද ඇති තැන එක් ආකාරයකිනුත්, නැතිතැන තවත් ආකාරයකිනුත් කථා කරයි. නමුත් එසේ ආකාර දෙකකට ක්‍රියා කිරීම පුද්ගලයන් අතර පවතින යහ පැහැත්මට බාධා ගෙන දෙයි. මේ නිසා මනා සහජීවනයක් ගොඩනගා ගැනීමට නම් එක් එක් පුද්ගලයා පිළිබඳව ක්‍රියා කිරීම, කතා කිරීම පමණක් නොව සිතින් සිතීමත් මෙත් සහගතව කළ යුතු වේ.

03. පොදු ආකල්පයකින් ක්‍රියා කිරීමට සිතීම

එක් එක් පුද්ගලයාගේ ආකල්ප වලින් බැහැර පොදු ආකල්පයකින් කටයුතු කිරීම සහජීවනය ඇති කරලීමට මං සලසයි. එසේ නොමැතිව එක් එක් පුද්ගලයාගේ ආකල්පය අනුව යම් කටයුත්තක් සිදු කරන්නට ගිය විට විවිධාකාරයේ අපහසුතාවලට විවිධ බාධා කිරීම්වලට යටත් වීමට සිදුවනු ඇත. එමෙන්ම පුද්ගලයන් අතර ඇති යහපැවැත්ම බි¼ඳ වැටීමටද ඉඩකඩ නිර්මාණය වනු ඇත. ඒ නිසා පොදු ආකල්පයකින් ක්‍රියා කිරීම දිගු කාලීනව යහපත් ප්‍රතිඵල ගෙන දෙනු ලබයි.

04. සිතින් එක්වන්ව ක්‍රියා කිරීමට සිතීම

පුද්ගලයන් ලෙස ශාරීරිකව විවිධතා දැකගත හැකි වුවත් සෑම දෙනකු ම එක්වන් සිතින් සිතීම පුද්ගල හා සමාජ සහජීවනය ඇති කරයි. පුද්ගලයන් තුළ ඇති සමඟිය ඉන් ශක්තිමත් කරයි. ඒ නිසා අප සෑම දෙනාම එක්සිතින් ක්‍රියාකළ යුතුය යන ආකල්පය සෑම පුද්ගලයකුම ඇතිකර ගත යුතුය. එය සහජීවනයේ පදනම වඩාත් ස්ථාවර කිරීමට මඟ පාදයි. එමනිසා මෙවැනි ආකල්ප සමුදායකින් පුද්ගල මනස පුරවා ගත් විට එබඳු පුද්ගලයන් අතර ගොඩනැගෙන සහජීවනය වඩාත් තිර වේ. එවිට එකිනෙකා කටයුතු කරන්නේ පොදු හැඟීමකින් යුතුවය. වගකීමකින් යුතුවය. සාමුහික බවින් යුතුවය.

මේ නිසා නව සංකල්පනාවලින් යුතුව සහජීවනයට මඟ පාදන ක්‍රියාකාරකම්වල නිරතවීමෙන් හා බෞද්ධ මඟ පෙන්වීම් සිත්හි දරා ගැනීමෙන් සහ ඒවා අනුගමනය කිරීමෙන් තමාත්, සමාජයත් වඩාත් යහපත් කිරීමට ක්‍රියාකළ යුතු ය.

බුදු සමයේ පැනෙන මාරයා



පිටකෝට්ටේ
ශ්‍රී නාගවිහාරාධිපති
මාදුලුවාවේ සෝභිත හිමි

බෞද්ධ සාහිත්‍යයට එක් වූ තවත් නවතම කෘතියෙකි ‘බුදුසමයේ පැනෙන මාරයා’ නම් ග්‍රන්ථය. පෙළෙහි හා අටුවා ග්‍රන්ථයන්හි මාරයා පිළිබඳව දැක්වෙන කරුණු ගෙනහැර දක්වමින් කන්දරපංගුවේ ධම්මසිරි හිමියන් විසින් සම්පාදනය කළ මේ පොතෙහි මාරයා පිළිබඳ සාර්ථක විස්තරයක් ඉදිරිපත් කර තිබේ. බුදු සමයෙහිදී බොහෝ විට මාරයා ගැන සඳහන් වන්නේ පුද්ගලයාගේ විමුක්ති මාර්ගයට අවහිර කරන පාපධර්ම හඳුන්වාදීමේ උපායමාර්ගයක් වශයෙන් යයි කතුහිමියෝ කියති. මෙහි එන විස්තර වලින් මේ බව පැහැදිලි වෙයි. මාරතජ්ජනීය සූත්‍රයට අනුව මුගලන් තෙරණුවෝ තමන් දුසීමාරයාව ඉපිද පාපක්‍රියා කළහෙයින් අනන්ත දුක් වින්ද බවත් එහෙයින් පව් නොකරණ ලෙසත් කීහ. ‘ගින්දර වනාහි මම බාලයා දවාලමි යි’ ඒකාන්තයෙන් නො වෙලා ගන්නේ ය. ඒ බාලයා ම දිලිසෙන ගිනි වැදගෙන දැවෙන්නේ ය. මේ විස්තරය මේ පොතේ සඳහන් වෙයි.

සාටීමත්තිය ථේර වස්තුවේ එම තෙරුන්ට ශ්‍රද්ධාවෙන් සංග්‍රහ කළ දායක පවුලක ශ්‍රද්ධාව නැති වූ ආකාරයත් සැලෙන ශ්‍රද්ධාවත් විස්තරවෙයි. පුහුදුන්ගේ ශ්‍රද්ධාව අස්ථිරය. ඒකාන්තික නො වෙයි. අශ්වයකුගේ පිටමත තැබූ ලබුගෙඩියක් මෙනි, දහයියා ගොඩෙහි හිට වූ කණුවක් වැනි ය. මේ පුවත මෙම කෘතියේ එයි.

මච්චුමාරෝ යන්නට අනුව මරණය ම පුද්ගලත්වයක් ආරෝපණයකර, මාරයා පුද්ගලයෙකු වශයෙන් දක්වා ඇති බව මෙම කෘතියේ සඳහන් වෙයි.

කළුවා, කෙළවර කරන්නා, මුදා නො හරින්නා, ප්‍රමාදවූවන්ගේ ඤාතියා ආදී මාරයාට ව්‍යවහාර වන වෙනත් වචනයන්ද සවිස්තරව දක්වා තිබේ. තවද මාරයා මහලු බමුණෙකු, ගොවියෙකු, ඇතෙකු, නාගයෙකු ලෙස පැමිණි තැන් සහ හිවලකුට, බිළීබාන්නකුට, මුවවැද්දකුට උපමා කළ අවස්ථා ද මෙහි පෙන්නවා ඇත. ගෘහාභිනිෂ්ක්‍රමණය කළ බෝසතාණන් චතුරංග සමන්නාගත වීර්යෙන් යුක්තව බුදුවී මිස නො නැගිටිමියි යන ස්ථිර අධිෂ්ඨානයෙන් බෝ මැඩ විදුරසුනේ ඉඳ දසමාර සේනාව දස පාරමිතා ආවර්ජනයකර පරාජය කළ අයුරු සඳහන් කරන කතු හිමියෝ එකින් එක පැරදූ ආකාරය පැහැදිලි කරති.

මාරයා ශ්‍රාවක ශ්‍රාවිකාවන් වෙතට පැමිණ කියන ලද කරුණු සහ ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගේ ප්‍රකාශන ද දක්වන මෙහි ඒ හා බැඳුණු දස සංයෝජන, ශ්‍රද්ධා, පඤ්ච නීවරණ, තෘෂ්ණාව, පඤ්චස්කන්ධය ආදිය ද මෙහි විස්තරකර තිබීම ප්‍රයෝජනවත් යයි කිව හැකි ය. වසවර්ති දිව්‍යලෝකයේ බලවත් දෙවියෙකු ;ලස වාසය කරන දේවපුත්තමාරයා පුද්ගලයෙකු වශයෙන් සඳහන් වෙයි. මෙම කෘතිය සම්පාදනයේ දී පාදක කරගත් පොත්වල නම් සහ පිටු අංක දක්වා තිබීම වැදගත් වෙයි. එයින් පාඨකයනට තවත් විස්තර ඒ මුල් පොතක් බැලීමෙන් දැන ගැනීමට මඟ පෙන්නුම් කරයි. මේ අනුව සරල බස් වහරකින් ලියා ඇති ‘බුදුසමයේ පැනෙන මාරයා’ ඵලදායී ග්‍රන්ථයක් යයි කිව හැකි ය.

කර්මය පිළිබඳ අගනා දෙසුමක්
(චූළකම්ම විභංග සූත්‍රය)



නාවල ධම්මානන්ද හිමි

“පින්වත් මානවකය, සත්ත්වයෝ වනාහි තමන්ගේ කර්මය තමන් සතු කොට (කම්මස්සකා) ඇත්තාහ. එසේ ම කර්මය දායාද කොට (කම්මදායාද ) ඇත්තාහ. කර්මය උපතට හේතුව කොට (කම්මයෝනි) ඇත්තාහ. කර්මය නෑයා කොට (කම්මබන්ධු) ඇත්තාහ. කර්මය පිළිසරණ කොට (කම්ම පටිසරණා) ඇත්තාහ. සත්ත්වයන් උසස් පහත් බවට පමුණුවනු ලබන්නේ, කර්මය විසිනි.

භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩවසන සමයක සුභ නම් මානවක තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේ ය. භාග්‍යවතුන් වහන්සේ සමඟින් පිළිසඳර කථාවක යෙදුණු සුභ විසින් අනතුරු ව මෙම ප්‍රශ්නය විමසන ලදී.

“පින්වත් ගෞතමයන් වහන්ස, මිනිසුන් අතර විවිධ උස්පහත්කම් දක්නට ලැබේ. එයට හේතුව කුමක් ද? පින්වත් ගෞතමයන් වහන්ස, ඇතැම් මනුෂ්‍යයෝ අල්ප වූ ආයුෂ ඇත්තෝ ය. ඇතැම් මනුෂ්‍යයෝ දීර්ඝායුෂ ඇත්තෝ ය. එසේ ම බොහෝ ආබාධ ඇත්තා වූ ද අල්ප ආබාධ ඇත්තා වූ ද දුර්වර්ණ වූ ද, වර්ණවත් වූ ද යසස් අඩු වූ (අල්පේශාක්‍ය ) ද බොහෝ යසස් ඇත්තා වූ (මහේශාක්‍ය) ද , අල්ප භෝග ඇත්තා වූ ද, මහාභෝග ඇත්තා වූ ද, කුලයෙන් හීන වූ ද, කුලයෙන් උසස් වූ ද, නුවණ නැත්තා වූ ද, නුවණින් යුතු වූ ද මනුෂ්‍යයෝ දක්නට ලැබෙත්. පින්වත් ගෞතමයන් වහන්ස, මේ වෙනස්කම් වලට හේතුව කුමක්ද? “

එම ප්‍රශ්නයට පිළිතුරු දෙමින් භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

“පින්වත් මානවකය, සත්ත්වයෝ වනාහි තමන්ගේ කර්මය තමන් සතු කොට (කම්මස්සකා) ඇත්තාහ. එසේ ම කර්මය දායාද කොට (කම්මදායාද ) ඇත්තාහ. කර්මය උපතට හේතුව කොට (කම්මයෝනි) ඇත්තාහ. කර්මය නෑයා කොට (කම්මබන්ධු) ඇත්තාහ. කර්මය පිළිසරණ කොට (කම්ම පටිසරණා) ඇත්තාහ. සත්ත්වයන් උසස් පහත් බවට පමුණුවනු ලබන්නේ, කර්මය විසිනි.

භාග්‍යවතුන් වහන්සේ මෙසේ සැකෙවින් වදාළ කරුණු වටහා ගැනීමට අපොහොසත් වූ සුභ තෙමේ එය විස්තර කර දෙන ලෙස භාග්‍යවතුන් වහන්සේට ආරාධනා කළ කල්හි භාග්‍යවතුන් වහන්සේ එම අර්ථය මෙසේ විස්තර වශයෙන් වදාළ සේක.

1. පින්වත් මානවකය. මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ සතුන් කෙරෙහි අකාරුණික ව සතුන් මැරීමෙහි යෙදෙයි. මෙසේ රැස් කර ගත් ඒ (අකුසල) කර්මය හේතු කොට ගෙන එම පුද්ගලයා සැපයෙන් පහ වූ දුක් ඇති නිරයෙහි උපත ලබයි. ඉදින් නිරයෙහි උපත නො ලබා මිනිස්ලොව උපදී නම්, ඒ ඒ තැන දී ඔහු අල්පායුෂ්ක (අඩු ආයුෂ ඇති) වෙයි. මාණවකය, සියලු සතුන් කෙරෙහි අකාරුණික ව සතුන් මැරීම අල්පායුෂ්ක බව පිණිස හේතු වෙයි.

2. පින්වත් මාණවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ සියලු සතුන් කෙරෙහි හිතානුකම්පී ව අකුසල් කිරීමෙහි ලජ්ජිත වෙමින් හිංසාකාරී ආයුධ පසෙක තබා සතුන් මැරීමෙන් වැළකී වෙසෙයි. මෙසේ /ස් කර ගත් ඒ (කුසල) කර්මය හේතු කොට ගෙන එම පුද්ගලයා මරණින් මතු සුගතියෙහි (දෙව්ලොව) උපත ලබයි. ඉදින් දෙව්ලොව උපත නො ලබා මිනිස්ලොව උපදී නම්, උපදින ඒ ඒ තැන දී ඔහු දීර්ඝායුෂ්ක වෙයි. මාණවකය, සියලු සතුන් කෙරෙහි හිතානුකම්පී ව සතුන් මැරීමෙන් වැළකීම දීර්ඝායුෂ්ක බව පිණිස හේතු වෙයි.

3.පින්වත් මාණවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ අතින් පයින් ගල් මුගුරු ආයුධ ආදියෙන් සතුන්ට වෙහෙස ඇති කිරීමෙහි (හිංසා කිරීමෙහි) යෙදෙයි. මෙසේ රැස් කර ගත් ඒ (අකුසල) කර්මය හේතු කොට ගෙන එම පුද්ගලයා මරණින් මතු සැපයෙන් පහ වූ දුක් ඇති නිරයෙහි උපත ලබයි. නිරයෙහි උපත නො ලබා මිනිස්ලොව උපදී නම්, ඒ ඒ තැන දී ඔහු ආබාධ බහුල වූවෙක් වෙයි. මාණවකය, අතින් පයින් ගල් මුගුරු ආයුධ ආදියෙන් සතුන්ට වෙහෙස ඇති කිරීම (හිංසා කිරීම) බොහෝ ආබාධ සහිත වීමට හේතු වෙයි.

4. පින්වත් මානවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ අතින් පයින් ගල් මුගුරු , ආයුධ ආදියෙන් සතුන්ට වෙහෙස (හිංසා) නො කරයි. මෙසේ රැස් කර ගත් ඒ (කුසල) කර්මය හේතු කොට ගෙන එම පුද්ගලයා මරණින් මතු සුගතියෙහි (දෙව්ලොව) උපත ලබයි. ඉදින් දෙව්ලොව උපත නො ලබා මිනිස්ලොව උපදී නම් උපදින ඒ ඒ තැන දී ඔහු අල්පාබාධ ඇත්තෙක් වෙයි. මාණවකය, අතින් පයින් ගල් මුගුරු ආයුධ ආදියෙන් සතුන්ට වෙහෙස (හිංසා ) නො කිරීම අල්පාබාධ සහිත වීමට හේතු වෙයි.

5. පින්වත් මානවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ක්‍රෝධ කරන සුලු වූයේ සුළු කරුණකින් පවා ගැටෙමින්, කිපෙමින් කෝපයත් ද්වේෂයත් නො සතුටත් පළකරයි. මෙසේ රැස් කර ගත් ඒ (අකුසල) කර්මය හේතු කොට ගෙන එම පුද්ගලයා මරණින් මතු සැපයෙන් පහ වූ දුක් ඇති නිරයෙහි උපත ලබයි. නිරයෙහි උපත නො ලබා මිනිස්ලොව උපදී නම්, ඒ ඒ තැන දී ඔහු දුර්වර්ණ වෙයි. මාණවකය ක්‍රෝධ කරන සුලු ව සුළු කරුණකින් පවා ගැටෙමින්, කිපෙමින් කෝපයත් ද්වේෂයත් නො සතුටත් පළකිරීම දුර්වර්ණ වීමට හේතු වෙයි.

6. පින්වත් මානවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ක්‍රෝධ නො කරන සුලු වූයේ මහත් කරුණකින් පවා නො ගැටෙමින් නො කිපෙමින් කෝපයත් ද්වේෂයත් නො සතුටත් පළ නො කරයි. මෙසේ රැස් කර ගත් ඒ (කුසල) කර්මය හේතු කොට ගෙන එම පුද්ගලයා මරණින් මතු සුගතියෙහි (දෙව්ලොව) උපත ලබයි. ඉදින් දෙව්ලොව උපත නො ලබා මිනිස් ලොව උපදී නම් උපදින ඒ ඒ තැන දී ඔහු ප්‍රසාදනීය ස්වරූපයෙන් යුතු වෙයි. මාණවකය, ක්‍රෝධ නො කරන සුලු ව මහත් කරුණකින් පවා නො ගැටෙමින් නො කිපෙමින් කෝපයත් ද්වේෂයත් නො සතුටත් පළ නො කිරීම ප්‍රසාදනීය බව පිණිස හේතු වෙයි.

7.පින්වත් මාණවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ඊර්ෂ්‍යා කරනසුලු වෙයි. අන් අයගේ ලාභ සත්කාර ගරු බුහුමන් පිළිබඳව ඊර්ෂ්‍යා කරයි. ද්වේෂ කරයි. මෙසේ රැස් කර ගත් ඒ (අකුසල) කර්මය හේතු කොට ගෙන එම පුද්ගලයා මරණින් මතු සැපයෙන් පහ වූ දුක් ඇති නිරයෙහි උපත ලබයි. නිරයෙහි උපත නො ලබා මිනිස්ලොව උපදී නම් , ඒ ඒ තැන දී ඔහු අල්පේශාක්‍ය යසස් අඩු වූවෙක් වෙයි. මාණවකය, අන් අයගේ ලාභ, සත්කාර ගරුබුහුමන් පිළිබඳ ව ඊර්ෂ්‍යා කිරීම අල්පේශාක්‍ය වීමට හේතු වෙයි.

8. පින්වත් මානවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ඊර්ෂ්‍යා නො කරනසුලු වෙයි. අන් අයගේ ලාභ සත්කාර ගරුබුහුමන් පිළිබඳ ව ඊර්ෂ්‍යා නො කරයි. ද්වේෂ නො කරයි. මෙසේ රැස් කර ගත් ඒ (කුසල)) කර්මය හේතු කොට ගෙන එම පුද්ගලයා මරණින් මතු සුගතියෙහි (දෙව්ලොව) උපත ලබයි. ඉදින් දෙව්ලොව උපත නොලබා මිනිස්ලොව උපදී නම්, උපදින ඒ ඒ තැන දී ඔහු මහේශාක්‍ය බොහෝ යසස් ඇතියෙක් වෙයි. මාණවකය , අන්අයගේ ලාභ සත්කාර ගරුබුහුමන් පිළිබඳව ඊර්ෂ්‍යා නො කිරීම මහේශාක්‍ය වීමට හේතු වෙයි.

9. පින්වත් මාණවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ පැවිදි උතුමන්ට ආහාර පාන වස්ත්‍ර යාන මල් සුවඳ ද්‍රව්‍ය සෙනසුන් පහන් ආදිය (මසුරුකම නිසා) නො දෙනසුලු වෙයි. මෙසේ රැස් කර ගත් ඒ (අකුසල) කර්මය හේතුකොට ගෙන එම පුද්ගලයා මරණින් මතු සැපයෙන් පහ වූ දුක් ඇති නිරයෙහි උපත ලබයි. ඉදින් නිරයෙහි උපත නො ලබා මිනිස්ලොව උපදී නම්, ඒ ඒ තැන දී ඔහු අල්පභෝග ඇත්තෙක් (ධන සම්පත් අඩු වූවෙක්) වෙයි. මාණවකය , පැවිදි උතුමන්ට ආහාර පානාදිය නො දීම හෙවත් මසුරුකම අල්පභෝග බව පිණිස හේතු වෙයි.

10. පින්වත් මානවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ පැවිදි උතුමන්ට ආහාර පාන වස්ත්‍ර යාන මල් සුවඳ ද්‍රව්‍ය සෙනසුන් පහන් ආදිය දෙන්නේ වෙයි. මෙසේ රැස් කර ගත් ඒ (කුසල) කර්මය හේතු කොට ගෙන එම පුද්ගලයා මරණින් මතු සුගතියෙහි (දෙව්ලොව) උපත ලබයි. ඉදින් දෙව්ලොව උපත නො ලබා මිනිස් ලොව උපදී නම්, උපදී ඒ ඒ තැන දී ඔහු මහාභෝග ඇත්තෙක් (ධන ධාන්‍යාදී බොහෝ සම්පත් ඇත්තෙක්) වෙයි. මාණවකය, පැවිදි උතුමන්ට ආහාර පානාදිය දීම මහාභෝග බව පිණිස හේතු වෙයි.

11. පින්වත් මානවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ අතිමානයෙන් (අධික වූ මානයෙන්) තද බවට පත් ව, වැඳීමෙන්, නැඟී සිටීමෙන් අසුන් දීමෙන් මාර්ගයෙහි ඉඩ දීමෙන් ගරුබුහුමන් කිරීමෙන් පූජා කිරීමෙන් සත්කාර කළ යුතු බුදු,පසේබුදු, ආර්ය ශ්‍රාවකයන් බඳු වැඩිහිටියන්ට, ගුණවතුන්ට සත්කාර නො කරයි. මෙසේ රැස් කර ගත් ඒ (අකුසල) කර්මය හේතු කොට ගෙන එම පුද්ගලයා මරණින් මතු සැපයෙන් පහ වූ දුක් ඇති නිරයෙහි උපත ලබයි. ඉදින් නිරයෙහි උපත නො ලබා මිනිස්ලොව උපදී නම්, ඒ ඒ තැන දී ඔහු පහත් කුලයෙහි උපදී. මාණවකය, අතිමානයෙන් තද බවට පත් ව, ගරු කළ යුත්තන්ට ගරු සම්මාන නො කිරීම පහත් කුලයෙහි ඉපදීමට හේතු වෙයි.

12.පින්වත් මානවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ අධික මානයෙන් තද බවක් නැති ව, වැඳීමෙන් නැඟී සිටීමෙන් අසුන් දීමෙන් මාර්ගයෙහි ඉඩ දීමෙන් ගරුබුහුමන් කිරීමෙන් පූජා කිරීමෙන් සත්කාර කළ යුතු බුදු , පසේබුදු, ආර්ය ශ්‍රාවකයන් බඳු වැඩිහිටියන්ට , ගුණවතුන්ට සත්කාර කරයි.

මෙසේ රැස් කර ගත් ඒ (කුසල) කර්මය හේතු කොට ගෙන එම පුද්ගලයා මරණින් මතු සුගතියෙහි (දෙව්ලොව) උපත ලබයි. ඉදින් දෙව්ලොව උපත නො ලබා මිනිස්ලොව උපදී නම්, උපදින ඒ ඒ තැනදී ඔහු උසස් කුලයෙහි උපදී. මාණවකය, අධික මානයක් නැති ව තද බවක් නැති ව ගරු කළ යුත්තන්ට ගරු සම්මාන කිරීම උසස් කුලයෙහි ඉපදීමට හේතු වෙයි.

13.පින්වත් මාණවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ පැවිදි උතුමන් වෙත ගොස් “ ස්වාමීනි , කුසලය, අකුසලය කුමක්ද? වරද නිවරද කුමක්ද? පුරුදු කළ යුතු දේ පුරුදු නො කළ යුතු දේ කුමක්ද? මා විසින් කුමක් කරනු ලබන්නේ එය මාහට බොහෝ කලක් අහිත පිණිස හෝ හිත සුව පිණිස හේතු වේ ද? “ යනුවෙන් නො විමසයි. මෙසේ රැස් කර ගත් ඒ (අකුසල) කර්මය හේතුකොට ගෙන එම පුද්ගලයා මරණින් මතු සැපයෙන් පහ වූ දුක් ඇති නිරයෙහි උපත ලබයි. ඉදින් නිරයෙහි උපත නො ලබා මිනිස්ලොව උපදී නම් , උපදින ඒ ඒ තැන දී ඔහු දුෂ්ප්‍රාඥ (නුවණ අඩු) වෙයි. මාණවකය, පැවිදි උතුමන් වෙත ගොස් ධර්මය - අධර්මය නො විමසීම දුෂ්ප්‍රාඥ බව පිණිස හේතු වෙයි.

14. පින්වත් මාණවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ පැවිදි උතුමන් වෙත ගොස් “ ස්වාමීනි, කුසලය අකුසලය කුමක්ද? වරද නිවරද කුමක් ද? පුරුදු කළ යුතු දේ පුරුදු නො කළ යුතු දේ කුමක්ද? මා විසින් කුමක් කරනු ලබන්නේ එය මාහට බොහෝ කලක් අහිත පිණිස හෝ හිත සුව පිණිස හේතු වේද? “ යනුවෙන් ප්‍රශ්න කර විමසයි. මෙසේ රැස් කර ගත් ඒ (කුසල) කර්මය හේතු කොට ගෙන එම පුද්ගලයා මරණින් මතු සුගතියෙහි (දෙව්ලොව) උපත ලබයි. ඉදින් දෙව්ලොව උපත නො ලබා මිනිස්ලොව උපදී නම්, උපදින ඒ ඒ තැන දී ඔහු මහාප්‍රාඥ (බොහෝ නුවණැති) වෙයි. මාණවකය, පැවිදි උතුමන් වෙත ගොස් ධර්මය - අධර්මය විමසීම මහාප්‍රාඥ බව පිණිස හේතු වෙයි.

පින්වත් මාණවකය, මෙලෙසින් සත්ත්වයෝ තමන්ගේ කර්මය තමන් සතු කොට (කම්මස්සකා) ඇත්තාහ. එසේ ම කර්මය දායාද කොට (කම්මදායාද) ඇත්තාහ. කර්මය උපතට හේතුව කොට (කම්මයෝනි) ඇත්තාහ. කර්මය නෑයා කොට (කම්මබන්ධු) ඇත්තාහ. කර්මය පිළිසරණ කොට (කම්මපටිසරණා) ඇත්තාහ. සත්ත්වයන් ව උසස් පහත් බවට පමුණුවනු ලබන්නේ කර්මය විසිනි. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙතෙකින් දේශනාව සමාප්ත කරන ලදී. මෙම දේශනාව අසා සතුටු වූ තෝදෙය්‍යපුත්‍ර සුභ මාණවක තෙමේ තෙරුවන් සරණ ගියේ ය.

බුදුරදුන් ප්‍රථම වර වැඩම කළේ මහියංගණයේ කොතැනට ද?



ඇස්.බී. කරල්ලියද්ද

සුමන සමන් දෙවියන්ගේ ඉල්ලීම අනුව නිතර වැඳ පුදා ගැනීමට සුදුසු බුදුන්වහන්සේගේ කේශධාතු මිටක් සමන් දෙවියන්ට දීමෙන් පසු සමන් දෙවියන් විසින් එය නිදන් කොට ලොව ප්‍රථම වරට දෙවියෙකු විසින් නිර්මාණය කළ මියුගුණු සෑය රියන් හතක් උසට බඳිනා ලදී. පසුව ශරභු රහතන් වහන්සේ විසින් බුදු හාමුදුරුවන්ගේ ගී‍්‍රවා ධාතු නිදන් කොට රියන් දොළහක් උසට එම සෑය බඳවන ලදී. දෙවියෙකු හා රහතන් වහන්සේ නමක් එක්ව බැඳි ලෝකයේම ප්‍රථම සෑය මියුගුණු සෑයයි.

අදින් අවුරුදු දෙදහස් පන්සිය පනස් තුන් වසරකට පෙර දුරුතු පුන් පොහෝ දිනයක, බුද්ධත්වයෙන් නවවන මස ගෞතම බුදුරජාණන් වහන්සේ මෙරටට වැඩම කොට වදාළ බව ශාසන ඉතිහාසයෙහි සඳහන් ය. ගෞතම බුදුරජාණන් වහන්සේ මෙහි වැඩම කළේ එවකට ලංකාව නිජබිම කොටගත් යක්‍ෂ හා නාග ගෝත්‍රිකයින් දෙපළකගේ ගැටුම් සමනය කිරීමටය. එදා අප රටෙහි ජීවත් වූයේ ගෝත්‍රික පිරිස් ය. යක්‍ෂ ගෝත්‍රිකයින් දමනය කර එදා ඇතිවන්නට තිබූ ලේ වැගිර වෙන අනර්ථකාරී යුද්ධයෙන් සියලු දෙනාම මුදා ගත්තේ ය.

බුදුන් වහන්සේ එදා වැඩම කළේ නූතන මිනිපේ ප්‍රදේශයට යාබදව මහවැලි ගඟින් එතෙර තිබූ මහියංගණය නම් භූමියටය. එකල එම ප්‍රදේශය මහානාග උයන නම් විය. එම භූමිය යොදුන් තුනක් දිගින් හා යොදුනක් පළලින් යුක්තය. යොදුනක් යනු සැතපුම් දහසයකි. ඒ අනුව මෙම ප්‍රදේශය දිගින් සැතපුම් පනහක් පමණ ද, පළලින් සැතපුම් දහසයක් පමණ වූ ප්‍රදේශයකි. බුදුන් වහන්සේ තුන්බෑ ජටිලයන් ප්‍රමුඛ දහසක් දෙනාට ධර්මය අවබෝධ කරදීමෙන් පසුව අහසින් ලක්දිවට වැඩියහ.

එසේ වැඩමකොට බිමට ගොඩබටුයේ දැනට නාගදීපය නමින් දක්නා ප්‍රදේශයේ තිබූ ගොමගොඩ නම් කුඩාගම් මැද්දටය. අද එම ගම නාගදීප නමින් දක්නා ප්‍රදේශයේ තිබූ ගොමගොඩ නම් කුඩාගම් මැද්දටය. අද එම ගම නාගදීප ව්‍යාපාරය නිසා යටවී ඇත. ප්‍රදේශයේ පැරැන්නෝ මේ පුවත තහවුරු කළෝ ය. පසුව ජනශූන්‍ය වූ එම පෙදෙස නාගදීප වාරි ව්‍යාපෘතිය ඇරඹීමත් සමඟ නැවත ජනාවාස විය. මෙම ප්‍රදේශයේ පිහිටුවා ඇති ශිලා ලිපි හා නටබුන් ගැන විමර්ශනයක් කිරීමෙන් මෙම තොරතුරු තවදුරටත් තහවුරු කරගත හැක. බුදුරජාණන් වහන්සේ එතැන් සිට අද මියුගුණ සෑය පිහිටි ස්ථානයට වැඩම කළේ පා ගමනිනි. එම ගමනට යක්‍ෂයන් ගෙන් කොපමණ බාධා ඇතිවූවත් බුදුන් වහන්සේගේ අසීමිත ධර්ම බලය නිසා ගමන නැවැත්වීමට ඔවුන්ට හැකි වී නැත. අදත් මහියංගණ වාර්ෂික ඇසළ පෙරහරේ දුනු හී රැගත් වැදි පෙරහර අපට සිහිකර දෙන්නේ එම පුවතයි.

මෙම සිද්ධිය දැක බලාගැනීමට කැලණි ප්‍රදේශයේ වැසි නාග ගෝත්‍රික පිරිස් විශාල වශයෙන් එම ස්ථානයට රොක් වූහ. සමනළ අඩවිය භාරව සිටි සුමන නම් දෙවියෝද මෙම ස්ථානයේ සිට ඇත. සටන සංසිඳවා ධර්මය දේශනා කර ඔවුන්ට ධර්ම මාර්ගය අවබෝධ කරදීමෙන් පසුව බුදුන් වහන්සේ සිරිපා කන්දට වැඩම කළහ. සුමන සමන් දෙවියන්ගේ ඉල්ලීම අනුව නිතර වැඳ පුදා ගැනීමට සුදුසු උන්වහන්සේගේ කේශධාතු මිටක් සමන් දෙවියන්ට දීමෙන් පසු සමන් දෙවියන් විසින් එය නිදන් කොට ලොව ප්‍රථම වරට දෙවියෙකු විසින් නිර්මාණය කළ මියුගුණුසෑය රියන් හතක් උසට බඳිනා ලදී.

පසුව ශරභු රහතන් වහන්සේ විසින් බුදු හාමුදුරුවන්ගේ ගී‍්‍රවා ධාතු නිදන් කොට රියන් දොළහක් උසට එම සෑය බඳවන ලදී. දෙවියෙකු හා රහතන් වහන්සේ නමක් එක්ව බැඳි ලෝකයේම ප්‍රථම සෑය මියුගුණුසෑයයි. නමුත් ගෞතම බුදුන් වහන්සේට පෙර ලොව පහළ වූ කකුසඳ බුදුන් වහන්සේද මෙරටට වැඩම කර ඇත. උන්වහන්සේ දියපානයට ගත් කෙන්ඩිය නිදන් කොට ධම්මකරක නම් චෛත්‍යයක් ඉදිකරන ලදී.

ඒ බුදුන් පිටදුන් බෝධියෙහි දක්‍ෂිණ ශාඛාවක් රුචීනන්ද නම් මෙහෙණිය විසින් මෙහි සිටුවන ලදී.මේ දිවයිනෙහි බුදු සසුන පිහිට වූයේ කකුසඳ බුදුන් වහන්සේගේ අග්‍රශ්‍රාවක වූ මහාදේව මහරහත් හිමි විසිනි. මෙය සිදුවී ඇත්තේ කැලණි ප්‍රදේශයෙහි ය. කෝනාගම බුදුරජාණන් වහන්සේ මෙහි වඩින විට මෙය වරදීප විය. එම බුදුන්ගේ පාත්‍ර ධාතුව නිදන් කොට සෑදූ චෛත්‍ය කහබාන් නමින් ප්‍රසිද්ධ විය. පසුව කස්සප බුදුන් වහන්සේ මෙහි වඩින විට මෙරට මණ්ඩදීප විය. සබ්බනන්ද නම් රහත් මහ තෙරුන් වහන්සේ බුදුහාමුදුරුවන්ගේ පැන් කෙන්ඩිය නිදන් කොට සෑයක් බැඳවීය. මේ අනුව සළකා බලන විට අප රට කොතරම් පුණ්‍යවන්ත ද, කොතරම් භාග්‍ය සම්පන්න හා ශුද්ධ වූ භූමියක් ද යන්න අපට සිතාගැනීමට පිළිවන. එදා ගෞතම බුදුන් වහන්සේ මෙරටට වඩින විට මහවැලි ගඟ දෙපස පදිංචිව සිටියෝ නාග, යක්‍ෂ සහ රාක්‍ෂ ගෝත්‍රිකයන්ය. නාග ගෝත්‍රිකයින් ජල ආශි‍්‍රත ප්‍රදේශවල පදිංචිව සිටි වැඩි වශයෙන්ම ධීවර කර්මාන්තයෙහි යෙදුන පිරිසක් ය. ඔවුන් රුවල් නැව් වලින් ඉන්දියාව ආදී රටවලට ගොස් භාණ්ඩ වෙළදාම් කිරීමට ද පුරුදුව සිටියෝ ය.

අතීතයෙහි යාපනයද නකදිවයින නොහොත් නාගදීප නමින් හැඳින්වූ නාග ගෝත්‍රික පිරිස් පදිංචිව සිටි ප්‍රදේශයකි. කැලණියේ සිට නාගදීපය දක්වා වූ සමුද්‍ර තීරයෙහි නාග ගෝත්‍රිකයින් බහුලව සිටි ප්‍රදේශ බව බොහෝ විද්වතුන්ගේ පිළිගැනීමය. යක්‍ෂ ගෝත්‍රිකයින් මෙරටට විජය කුමරු පැමිණීමටත් පෙර ජීවත් වූ මිනිස් වර්ගයකි. ඉතා දියුණු ශිෂ්ටාචාරයකට ඔවුන් හිමිකම් කිව් බව විජය මෙරටට ගොඩබසින විටත් කුවේණි කපු කටිමින් සිටි බවට අපේ ඉතිහාසයේ සඳහන් ය. ඔවුහු රට අභ්‍යන්තරයෙහි කඳු ආශි‍්‍රතව ජීවත්ව සිට ඇත. මහියංගනය, ලග්ගල, රිටිගල, කසාගල, ලංකාපුර ආදී ප්‍රදේශවල ඔවුන් ජීවත් විය.

මියුගුණු සෑයේ විශේෂත්වය

දෙවියෙකු විසින් මෙන්ම මහරහතන් වහන්සේ නමක් විසින් ද ලොව පළමුවරට ඉදි කළ මහ සෑය මියුගුණසෑයයි. එම ඓතිහාසික බිම් පෙදෙසෙහි මහවැලි ගඟින් මෙතෙර මිනිපේ ද්‍රෝණියෙන් මෙරටට ලම්භකර්ණ ගෝත්‍රික රජ පෙළපතක් බිහිවිය. වසභ, වංකතාසික තිස්ස පළමුවන ගජබාහු ආදීන් එම පරපුරට අයත් ය. එපමණක් නොව එම පරපුරටම අයත් වූ මහසෙන්, මහා වෙදැදුරු බුද්ධදාස, බෝසත් සිරිසඟබෝ ආදීන් ද බිහිවූයේ මෙම පින් බිමේ ය.

මහා රණශූරයෙකු වූ දෙවන රාජසිංහ බින්තැන්නේ දෙවියෝ නමින් හැඳින්වූයේ ද මෙම බිමෙහි උපන් නිසා ය. එම පුණ්‍ය භූමියට පෙර දවස මහනුවර දෙසින් වන්දනාවේ ගිය සැදැහවතුන් ගමන් කළේ දුෂ්කර මාර්ගයක් ඔස්සේ ය. පෙර සිටි අපේ මුතුන් මිත්තන් මැදමහනුවර සිට කිරිපට්ටිය, මැදිවක, කලුන්තැන්න, උඩුවාහින්න, මහවෙල, බෝපාන පසුකොට ගල්පඩි පෙළ බැස වේරගන්තොටට පැමිණ එතැන සිට ඔරුවලින් මහවැලි ගඟ තරණය කර මහියංගණය වැඳීමට ගිය බව පැරැන්නන් සඳහන් කරයි. ඉහත සඳහන් ගල්පඩි පෙළ දුටුගැමුණු රජුගේ යෝධයෙකු වූ සොරබොර වැව ඉදිකළ බුලතාගේ නිර්මාණයක් බව ජනප්‍රවාදයේ එයි.

බඩුබාහිර ආදිය මෙන්ම දරුමල්ලන්ද කර තබාගෙන පයින් ගිය එම ගමන අතිශය දුෂ්කර ගමනක් විය. වන සතුන් ගහන කැලෑ මාර්ගයක ගිය මේ ගමන දුෂ්කර මෙන්ම ත්‍රාසජනක ද අත්දැකීමක් විය. එදා තුන්සරණය මෙන්ම ගැමි කවි ද ගායනා කරමින් වන්දනා නඩය තමන්ගේ අන්තිම කැමැති පත්‍රය ද දූ දරුවන් වෙත ලියා එම ගමනට එක්විය. අද සමාජයෙන් ඈත් වූ එකල වන්දනාකරුවන් ගැයූ ගැමි කවි කීපයක් මෙසේ ය.

කන්ද උඩින් පෑවේ තාරකාවා
නලා හඬින් පිම්බා වැනි සොබාවා
සතර වරන් දෙවියන් කල උපාවා
මහියංගනේ වැඳලා යන්ට ආවා

භාවනා සීල හිත යට තිබෙන්නා
වාසනාවන්ත කළ වැඩ පෙනෙන්නා
බැඳපු කප් රුකක් සුළඟට වැනෙන්නා
මහියංගන කොතේ බුදුරැස් වඩින්නා

ඒ පා ගමන කොතරම් වෙහෙසකරද යන්න මෙම ගැමි කවි කියයි.

දුම්බර බැද්දේ මැද හිටලා පයින් යමු
කඩා පලු වීර කාලා වතුර බොමු
අඬන බිළිඳු හට නැවතී කිරි පොවමු
මහියංගනේ වැඳලා අඬ අඬා යමු

ගමන කොතරම් දුෂ්කර වුවත් බුද්ධාලම්භන පී‍්‍රතියෙන් හඬ හඬා සැදැහැවතුන් එම වන්දනා ගමනට එක්විය. දහඅට වංගුව බසින විට රාවණ සීතා දිය නෑ රාවණා ඇල්ල හමුවෙයි. සීතා නැවතී සිටි සීතා කොටුව අදටත් දැකිය හැකි ය.

‘වැරැදි’ නොකළාට මදි; අරමුණක් ඇති සීලයක් ඕනෑ



තුම්බෝවිල ඉසිවර අරණවාසීනුගේගොඩ පුන්න හිමි

වර්තමාන සමාජය සීඝ්‍ර ගමනක යෙදෙමින් සිටියි. විද්‍යාවෙන් තාක්ෂණයෙන් මිනිසාට මේ ගමන නොනවතින පරිදි ධාවනය කරවීමට තුඩුදෙන අපේක්ෂා රැසක් නිර්මාණය කොට තිබේ. මුදල, මේ අපේක්ෂා වැඩි කිරීමට මූලික හේතුව වී ඇත.

තාක්ෂණික දියුණුව හා මුදල විසින් මිනිසා තුළ ඇති කරන ලද තෘෂ්ණාව ඔහු අධාර්මික සිතුම් පැතුම් වලට පවා පොළඹවා ඇති බව පෙනෙයි.

සමාජය හමුවේ අප්‍රමාණ ලෙස බැබළීම උදෙසා මිනිසා නොකරන දෙයක් නැත. මුදලින් පොහොසත් වීමේ සහ සමාජ මට්ටමෙන් උසස් වීමේ ආශාවෙන් වර්තමාන මිනිසා වෙලී ඇත. මෙම තත්ත්ව කරා ළඟාවීමට බොහෝ දෙනෙක් ගේ දොර, ඉඩකඩම්, වතුපිටි, යාන වාහන හා පිරිස් බලය අත්පත් කර ගැනීමට වෙහෙසමින් සිටිති. ඒවා තමන්ට ආභරණ කොට සලකති. තනතුරු, නම්බුනාම පසුපස හඹායති. ඒවා ලබා ගැනීම සඳහා නොකරන දෙයක් නොමැති තත්ත්වයට වත්මන් මිනිසා පත් වී සිටිති. ඇතැමෙන් ඉහළ යැයි සම්මත සමාජයට ළඟාවීම සඳහා මත්පැන් පානයද සුදුසුකමක් කොට සලකති.

මේ ආකාරයෙන් මිනිස් ජීවිත මත අනවශ්‍ය බර රැසක් පැටවී ඇත. ඔහු තමන්ට දැරීමට නොහැකි තරමට කාර්යබහුල වී ඇත. සරල බව, නිවුන ගුණය, දැහැමි බව ඔහු වෙතින් පලා යමින් පවතියි.

මේ න්‍යාය ධර්මය දකින්නෝ විරලය. ඒ අයට සිල් රකින්නට වේලාවක් නැත. පෝයටවත් පන්සලකට යන්නට වේලාවක් නැත. ‘මං කිසිම නරක වැඩක් කරන්නේ නෑ. කාටවත් වරදක් නොකරන මං පන්සල් යන්නේ මොකටද? කියා අසන අය සිටිති. ‘සිල් රැකල පලක් නෑ’ කියන අයද සිටිති.

මෙසේ පවසන බොහෝ දෙනෙක් සීලයේ අගය වටහාගෙන නැත. සීලය යනු කුමක්දැයි දන්නේ ද නැත. බුද්ධෝත්පාද කාලයක උපත ලද මිනිසුන්ට ධර්මාවබෝධයට ප්‍රමාණවත් අවස්ථා තිබේ. ධර්මය හඳුනා ගනිමින් ධර්ම මාර්ගයට පිවිස තම තමන් විසින් නිවන සාක්ෂාත් කැර ගැනීමයි බුදු දහම පිළිගැනීමේ අරමුණ විය යුතු වන්නේ.

නිර්වාන මාර්ගයට පිවිසීමට අවශ්‍ය දහම උපතින්ම ලැබී තිබීම, කොතරම් වාසනාවක්ද? ලය උපහාසයට ලක් කරමින්, සිල් රැකීම නිෂ්ප්‍රයෝජන කටයුත්තක් සේ සලකා ඉන් බැහැරව සිටීම බෞද්ධයකු ලෙස ලද හැකි ජීවිත ඵලය, ඉවත හෙළීමකි. ධර්මය හෙළා දැකීම ආර්ය උපවාද අකුසල කර්මයටද හේතු විය හැකිය.

සතුන් සැබවින්ම කාට හෝ වරදක් කරනුයේ කලාතුරකිනි. ඇතැම් සතෙක් ආහාර සපයා ගැනීම සඳහා තවත් සතකු මරා කයි. ඇතැම් අලියෙක් මිනිස් ජීවිත වගා ආදිය හානි කරයි.

ඌ ද එසේ වී ඇත්තේ මිනිසුන් විසින් උගේ ජීවිතයට තර්ජන එල්ල කිරීම නිසා ය. නො එසේ නම්, වන සතුන් පවා බොහෝ දුරට කාට හෝ වරදක් පාඩුවක් නොකොට, සරලව තම අවශ්‍යතා ඉටු කර ගනිමින් ජීවත් වන අයයි. එසේනම්, බුද්ධිය ඇති මිනිසා කොතරම් සංවර විය යුතු ද? කොතරම් ශික්ෂණය විය යුතු ද? කොතරම් කාර්ය බහුල ජීවිත ගත කළත්, ධාර්මිකව ජීවත්වීම කළ නො හැකි දෙයක් නොවේ. එසේම මසකට වරක් ගිහියකුට ලැබෙන අගනා අවස්ථාවකි, පුර පොහොය දිනයේදී උපෝසථ සීලය ආරක්ෂා කිරීමට අවස්ථාවක් ලැබීම. සැබවින්ම සීලය යනු සිතාමතාම සංවර වීමකි.

ඇතැම්හු උපතින්ම සතුන් නොමරති. ඇතැම්හු බොරු නොකියති. තවත් ඇතැම් අය වැරැදි කාම සේවනයේ නොයෙදෙති. සමහරු උපතින්ම සොරකම් නොකරති. මත්පැන් පානය නොකරති. විවිධ යහපත් ප්‍රතිපත්තියහි පිහිටා කටයුතු කරති. එසේ වුවත් මෙවැන්නකු වුවද අවබෝධයෙන් යුතුව සීලය සමාදන් නොවන්නේ නම්, එය අර්ථවත් හා ඵලදායක පිළිවෙතක් නොවනු ඇත. යහපත් චේතනාවකින් හා විමුක්ති අරමුණ ඉටුකර ගැනීමේ චේතනාවෙන් රකින සීලයෙන් මිස එවැනි සසර පුරුද්දෙන් ඉබේ රැකෙන සිල් වලින් සැලකිය යුතු ප්‍රතිඵලයක් නැත.

‘පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි’ යැයි සමාදන්වූ විට උපතින් ගෙනා ඒ පුරුද්දට ද පැහැදිලි අර්ථයක් ලැබෙයි. නොඑසේව, තම තමන් වරදක් නොකරන බවත්, සිල්වත් බවත් එබැවින් පොහෝදිනවල උපෝසථ ශීලය සමාදන්ව රැකීම අවශ්‍ය නැති බවත් සිතා සිටීම, මිථ්‍යා අදහසකි.

එසේ විවිධ සාධක දක්වා තම තමන් ගේ සිල්වත් බව දක්වන උදවිය, විශාඛා උපාසිකාව, අනාථපිණ්ඩික මහ සිටානන් වේලුඛන්ඨකී නන්දමාතා, කුජුත්තරා, චිත්‍රගෘහපති, වේසාලිකා උග්ග, හත්තාලවක, බිම්බිසාර මහ රජු වැනි පුද්ගලයන් කොතරම් සිල්වත් චරිතදැයි සැළකිය යුතු ය.

විශාඛා සෝතාපන්න වූයේ අවුරුදු හතක (7) තරම් කුඩා දැරියකව සිටියදී ය. මෙබඳු උතුමන් ආර්යකාන්ත සීලයේ පිහිටන ලද හෙයින් අමුතුවෙන් සිල් සමාදන්වීමට උවමනා නැති බව සිතිය හැකිය. ආර්යකාන්ත සීලය හෙවත් පංචසීලය ස්ථිරව පිහිටීම මෙබඳු අයගේ ස්වභාවය වන බැවිනි.

සැබැවින්ම මේ උතුම් සීලය මොවුන් වෙතින් කැඩෙන්නේ ද නැත. එනම් අවිඡිද්දය, අසබලය. කමිමාස පුල්ලි නැත. එනම් සීලය කිසිසේත් අපවිත්‍ර නොවේ. එබඳු සීලය ‘සමාධි සංවත්තනික’ යනුවෙන් හැඳින්වෙයි. එනම් සමාධිය පිණිස හේතුවෙයි. මෙබඳු උතුම් සීලයක බුදු, පසේ බුදු, මහරහන් වහන්සේගේ ශාසනයට ලක්වෙයි.

මසකට එක්දිනක් පමණක් හෝ පුරුද්දක් වශයෙන් මෙසේ උපෝසථ සීලය ආරක්ෂා කිරීම උත්තරීතරය. කොතරම් කටයුතු බහුල වුවද බෞද්ධයන් විසින් රැකිය යුතු නිත්‍ය සීලය වන පංච සීලය රකින අතරතුර උපෝසථ සීලයද රැකීමට හුරුවීම, නිවන ලැබීම ඉක්මන් කරන ප්‍රතිපත්තියකි.

අප ඉහතින් දැක් වූ විශාඛා මහෝපාසිකාව වැනි විමුක්ති මඟට නැඹුරු වූ පුද්ගලයන් අතර රජවරු සිටුවරු, දාසයන් වැනි සමාජයේ විවිධ මට්ටම් නියෝජනය කළ අය වූහ. අද පවත්නා සමාජ රටාව එදා නොපැවැතියද මොවුන්ගෙන් බොහෝ දෙනෙක් ද ජීවන කටයුතු බහුලව තිබූ අයම වූහ.

එහෙත් මේ සියලු දෙනා තමාට පවුලට, සමාජයට, රටවැසියට ඉටු කළයුතු සේවයද නොහිපිරිහෙළා ඉටුකළ බවද, එසේම ඉතා දැහැමි දිවි පෙවෙතක් ගතකළ බවද ප්‍රකට ය. එසේ ම ඔවුහු නිතර උපෝසථ සීලය ආරක්ෂා කළ බවද පැහැදිලිය.

කාර්ය බහුලයැයි ඔවුහු කිසි විටෙක, සීලයෙන් බැහැර නොවූහ. වර්තමාන සමාජයේ කාර්ය බහුල බව සමග ද නොසැලී අපගේ ප්‍රතිපත්ති පවත්වා ගැනීම සඳහා උතුම් ශීලයක පිහිටා එය ආරක්ෂා කිරීමට ඉහත දැක් වූ පුද්ගලයෝ කදිම ආදර්ශ සපයති. නොනවතින තරගයෙන් මිදී බෝසත් උතුමකු බවට පත්වීමට ද ඒ ආදර්ශවත් චරිත මඟ නොපෙන්වන්නේ ද?

ධර්මය අදහා ගැනීම ප්‍රබෝධය ඉපදීමට හේතුවක්



නාවලපිටියේ අරියවංශ හිමි

අපි මීට කලින් සාකච්ඡා කරමින් සිටියේ නිබ්බිදා සූත්‍රයේ සඳහන් කරුණු පිළිබඳ යි. අපි එතන දී කථා කළා බණ භාවනා කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න කැමැති කෙනකු විසින් බුදුරජාණන් වහන්සේ ගේ අවබෝධය අදහා ගත යුතුයි කියන කාරණාව. ඒ වගේ ම අපි මහා ප්‍රඥාවක් නැති අය විදිහට, සාමාන්‍ය මිනිස්සු විදිහට, නුවණ පිරිහෙන කාලයේ ඉපදුණු අය විදිහට, මේ ධර්මයෙන් අවම හෝ පිහිටක් පිළිසරණක් ලබා ගැනීම පිණිස කළ යුත්තේ් කුමක් ද කියන දේ ත්, කථා කළා.

අපි ප්‍රකාශ කළේ එක එල්ලේ ම භාග්‍යවතුන්වහන්සේ විසින් ප්‍රකාශ කරන දහම් කාරණා පිළිගැනීමෙන් අපිට නිවන් මඟට පිවිසෙන්න පහසු ප්‍රවේශයක්, මාර්ගයක් හදා ගන්න අවස්ථාවක් තිබෙන බවයි. සමහර තැන්වල දී භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා “මෙන්න මෙහෙම කළොත් මෙහෙම සිද්ධ වෙනවා” කියලා. ඒ විදියට එක එල්ලේ ම ප්‍රකාශ කරන ධර්ම අපිට මුණ ගැහෙනවා.

ඉතින් අපි සාමාන්‍ය මනුෂ්‍යයන් විදිහට, ලොකු දැනුමක් නැති අය විදිහට, අපි අපි ගැන ම තෝරා බේරාගත යුතු යි. ඒ විදිහට තෝරාගෙන අපට එක එල්ලේ පෙන්වා දෙන දහම් කාරණා ඔස්සේ, ධර්මය පුරුදු කරන්න කල්පනා කළොත් අපිට ලොකු පිළිසරණක් ලබා ගන්න අවස්ථාවක් තියෙනවා.

නිබ්බිදා සූත්‍ර දේශනාව ළඟ ම තිබෙනවා තව දේශනාවක්. ‘ආසවක්ඛය සූත්‍රය’ කියලා. ඒ දේශනාවේ දී භාග්‍යවතුන් වහන්සේ අපට මේ විදියට කියා දෙනවා. ‘පඤ්චිමේ භික්ඛවේ, ධම්මා භාවිතා බහුලීකතා ආසවානං ඛයාය සංවත්තන්ති”. ඒ කියන්නේ ‘කාරණා පහක් බහුල වශයෙන් පුරුදු කරන කෙනකුට, ඒ ධර්ම පහ පුුරුදු කිරීම, බහුල වශයෙන් පුරුදු කිරීම ආශ්‍රව ක්ෂයවීම පිණිස පවතිනවා’ කියලා.

මොනවද ඒ ධර්මතා පහ, ‘ඉධ භික්ඛවේ, භික්ඛු අසුභානුපස්සී කායේ විහරති, ආහාරේ පටික්කුලසඤ්ඤී , සබ්බලෝකේ අනභිරතසඤ්ඤී, සබ්බ සංඛාරේසු අනිච්චානුපස්සී, මරණසඤ්ඤී ඛෝ පනස්ස අජ්ඣත්තං සූපට්ඨිතා හෝති’. එතකොට අර කලින් සූත්‍රයේ කියා දෙන ඒ භාවනා පහ ම තමයි, මෙතන දී ත් කියා දෙන්නේ. මොනව ද ඒ භාවනා පහ....? අසුභ සංඥාව, ආහාරයේ පිළිකුල් සංඥාව, සබ්බලෝකේ අනභිරත සංඥාව, සබ්බ සංඛාරේසු අනිච්ච සංඥාව, මරණ සතිය.

එතකොට කලින් දේශනාවේ දී අපට කියලා දෙනවා, ඒ භාවනා පහ යම් කෙනෙක් පුරුදු කළොත්, නියත වශයෙන් ම අවබෝධයෙන් කළකිරීම කියන දේ සිද්ධ වෙනවා කියලා. ඒ දේ ස්ථිර වශයෙන් ම සිද්ධ වෙනවා කියලා අපට පෙන්වා දෙනවා. ඊළඟට ඒ අවබෝධයෙන් කළකිරුණු කෙනාට සිද්ධ වන දේ තමයි, නො ඇල්ම ඇතිවීම, ඇල්ම නිරුද්ධ වනවා. ඒත් එක්ක ම සිත සංසිඳෙනවා. ඊට පස්සේ ඒ සංසිඳුණු සිතින් එයාට පුළුවන්කම තියෙනවා විශේෂ ඤාණ ඇතිකර ගන්න. ඒ විශේෂ ඤාණ ඇතිකර ගත්ත කෙනාට පුළුවන්කම තිබෙනවා ආර්ය සත්‍ය පිළිබඳ පරිපූර්ණ අවබෝධය ඇතිකර ගන්න. අන්න එයා නිවන අවබෝධ කරනවා.

එතකොට මේ ආසවක්ඛය සූත්‍ර දේශනාවෙ දී කියලා දෙන්නේ ඒ ධර්මතා පහ ම පුරුදු කරන කෙනාට ආශ්‍රව ක්ෂය වෙනවා කියල යි. එතකොට බලන්න මේ ධර්ම අපි පිළිගත්තොත්, මේ ධර්ම හත අපි හොඳ අවබෝධයක් විශ්වාසයක් ඇතිකර ගත්තොත්, අප තුළ නිර්භය බවත් ඇතිවනව ද නැද්ද? අපි තුළ නිර්භය බවක් උපදිනවා.

කුමක් කෙරෙහි ද නිර්භය බව උපදින්නේ? සසරින් නිදහස් වීම පිළිබඳ විශ්වාසයක් ඇතිවෙනවා. සංසාරය කෙරෙහි තිබෙන බිය අඩු වෙන්න පටන් ගන්නවා. සංසාරෙන් නිදහස්වීමට ඉඩකඩක් තිබෙනවා කියල දැනගන්න කෙනාට සසර බිය අඩු වන්න පටන්ගන්නවා. ඒක යි නිර්භය බව කියලා කියන්නේ. සසරින් නිදහස් වන්න ඉඩ කඩක් නෑ කියලා තේරෙන කෙනාට සංසාරේ බිය තියෙනවා. බහුල වශයෙන් තියෙනවා. ඒ භීතියෙන් එයාට ඉන්න සිද්ධ වනවා.

නමුත් සංසාරෙන් නිදහස් වන්න ඉඩකඩක් තියෙනවා කියලා යම් කෙනකුට නිසැක බවක් තියෙනවා නම්, ඒ සැනින්, ඒ සමගම එයා තුළින් සසර බිය පහ වන්න පටන් ගන්නවා. අන්න එතකොට එයා නිර්භය බවට පත්වෙනවා. අර කලින් බයේ හිටපු කෙනා කලබල යි. ඉවසීමක් නෑ, දැන් නිසැක බවට ආපු කෙනාට නිර්භය බව උපදිනවා, නිර්භය බවත් එක්ක එයාට ඉවසීම තියෙනවා, කලබලේ අයින්වෙලා, කලබලය අයින් උනා ම ඉවසීම තියෙනවා.

දැන් මොකද එයා කරන්නේ? දැන් මේ කියා දීලා තිබෙන ධර්මය, පෙන්වා දී තිබෙන ධර්මය කොහොම ද පුරුදු කරන්නේ් කියලා එයා කල්පනා කරනවා. ඊළඟට එයා ටික ටික පුරුදු කරනවා, පැය ගණන් එක දිගට ඉඳගෙන ‘දැන් ඉතින් මම අද සමාධියට යන්නම්” කිය කියා පුරුදු වෙනවද? එහෙම ද කරන්නේ?..නෑ.

කෙනෙක් ඒ විදියට මේක ඉක්මනින් ම කරනවා කියලා කල්පනා කරන්නේ ඇයි....? කුමක් මුල් වෙලා ද එහෙම කල්පනා කරන්නේ....? තමා ගැන විශ්වාසය මුල් වෙලා. තමා ගැන තියෙන අධි තක්සේරුව මුල් කරගෙන තමයි ‘මම මේක ඉක්මනට කරන්නම්’ කියලා කල්පනා කරන්නේ. නමුත් තමා ගැන නෙමෙයි, බුදුරජාණන් වහන්සේ කෙරෙහි විශ්වාසය ඇතිවුණු කෙනා කල්පනා කරන්නේ, ‘’මේක හිමින් හිමින් මම පුරුදු කර ගන්න ඕන” කියලා යි. ඇයි එයාට නිර්භයබව තියෙනවා. එයාට දොර ඇරිලා. දැන් මඟ පේනවා. එයා කලබල වෙනව ද?. කලබල වෙන්නේ නෑ. එයා ටික ටික පුරුදු කරනවා.

එහෙනම් අපි තුළ කලබලයක් තියෙනවා නම් අපි තුළ නැත්තේ කුමක් ද කියලා බලන්න. අපි කලබල නො වී පුරුදු කරනවා නම්, අප තුළ තිබෙන්නේ කුමක් ද කියලා තේරුම් ගන්න. කලබල නො වී ටික ටික පුරුදු කරනවා කියලා කියන්නේ කම්මැලිකම අලසකම නෙමේ. ඒක සකසා වැඩීමට අයිති එකක්. ‘සකසලා වඩනව, පිළිවෙළකට කරනවා’ කියන එකයි, ඒ ඒකෙන් අදහස් වන්නේ.

එතකොට භාවනා පිළිවෙළකට කරන්නේ් කොහොම කෙනා ද? ඉවසීම තියෙන කෙනා. ඉවසීම තියෙන්නේ කාට ද? නිර්භය බවට පැමිණි කෙනාට. නිර්භය බවට පත් වන්නේ කවුද? නිසැක බවට පත්වන කෙනා, නිසැක බවට පත්වන්නේ කොහොම කෙනාද? භාග්‍යවතුන් වහන්සේ ගේ අවබෝධය අදහා ගැනීමෙන්. භාග්‍යවතුන් වහන්සේ ගේ අවබෝධය අදහා ගත්ත කෙනා වන්නේ කවුද? භාග්‍යවතුන් වහන්සේ ගේ දේශනාව පිළිගත්ත කෙනා.

අපි භාවනාව හැමවිට ම පිළිවෙළකට කරන්න පුරුදු වන්න ඕන. කරන්නන් වාලේ කරලා වැඩක් නෑ. එහෙම වුණොත් මහා ලාභයක් අපි ත් අහිමි කර ගෙන, ලෝකයට ත් අහිමි කරලා දාන පිරිසක් බවට පත්වෙනවා. අපි පිළිවෙළකට මේක කළොත් එහෙම, අපිට භාවනාවකින් ලබාගත හැකි ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්.

ඇයි අපි එහෙම කියන්නේ? ඒ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා මේ ධර්මය වඳ බැහැලා නෑ කියලා. මේ ධර්මය ජීවමාන යි. ඒ ධර්මයේ ගුණයක් තියෙනවා ‘අකාලික’ යි කියලා නේද? අන්න ඒ ගුණය ගැන කල්පනා කරලා ඒ ගුණය පිළිගැනීමෙන් තමයි අපි මේ ප්‍රකාශය කරන්නේ. එහෙනම් අපි මේ ධර්මය පිළිගත්තොත් අපිට පුළුවන්කම ලැබෙනවා සකසලා වඩන්න. එතකොට පිළිවෙළකට කරන්න පුළුවන් අය බවට අපි පත්වෙනවා.

ඒක කෘතිම ම ගොඩනගන්න බෑ. පිළිවෙළකට කරනවා කියන එක කෘතිම ව ගොඩනගා ගන්න බෑ. ඒක තමා තුළ ඉපදෙන්න ඕන ගුණයක්. දැන් සමහර දේ තියෙනවා කෘතිම ව කරනවා. දැන් අපිට කම්කරුවෙකුට කියන්න පුළුවන් විනාඩියකට ගඩොලක් ගේන්න කියලා. එයා හැම විනාඩියේ ම ගඩොලක් ගේනවා. පිළිවෙළකට කරනවා. ඒක කෘතිම යි. ‘මැෂින් එකක් තියෙනවා, ඒකෙන් විනාඩියකට යමක් නිෂ්පාදනය වනවා. පිළිවෙළකට සිදු වෙනවා. ඒක කෘතිම යි.

නමුත් බණ භාවනාවක් පිළිවෙළකට කිරීම කෘතිම ව කරන්න බෑ. එයා කරන්න බලයි. නමුත් ටික දවසකින් ‘මොනව ද මේ... මේක කරන්න බෑ’ කියලා නිකන් ඉන්නවා. එහෙම වෙනවා නේද? පොඩ්ඩ පොඩ්ඩ කරන්න බලනවා. ටික කලකින් ‘මේක හරි යන්නේ නෑ. මේක බෑ’ කියලා අතහැරලා දානවා. ඒ මොකද? ‘මේක පිළිවෙළකට කළ යුතු යි’ කියලා තමා තුළ උපන් හැඟීමක් නෑ. පොඩ්ඩක් කරලා අතහැරලා දානවා. ඇයි ඒ, සැක යි, විශ්වාසය නෑ.

විශ්වාසය තියෙනවා නම් අපි බණ භාවනා පිළිවෙළකට කරනවා. මේ මහ පොළෙවේ මැණික් තියෙනවා කියලා දන්නවා නම්, විශ්වාසයක් තියෙනවා නම්, එයා පිළිවෙළකට වැඩක් නැති දේ අයින් කරලා, හොඳට සුදුසු පස තෝරගෙන, පිළිවෙළින් ඒක සෝදලා බොරළු අයින් කරලා මැණික් ගල අතට ගන්නවා. විශ්වාසය නැති කෙනාට, ඒ ශිල්පය දන්නේ නැති කෙනාට ඒක කරන්න බෑ.

ඒ නිසා අපි තේරුම් ගත යුතු යි, මේ ධර්මය තුළ නිවන් මඟ තියෙනවා’ කියන විශ්වාසය අපිට බලවත් ව තියෙන්න ඕන. අන්න ඒ විශ්වාසය තියෙන කෙනා සකසලා මේක කරනවා. පිළිවෙළකට කරනවා. ඉතින් මේකට කාලයක් ඕන. දවසින් දෙකෙන් කෙරෙන්නේ නෑ. සතියෙන් හමාරෙන් කෙරෙන්නෙත් නෑ. මාසෙන් දෙකෙන් කෙරෙන්නෙ ත් නෑ. අවුරුද්දෙන් දෙකෙන් කෙරෙන්නෙ ත් නෑ. අපි එහෙම කෙටි කලකට සීමා කරගෙන බෑ.

එහෙම සීමා කරන්න බැරි නිසා තමයි අපි මුළු ජීවිතේ මේ වෙනුවෙන් කැපකළ යුත්තේ. සකසලා යමක් කිරීම පිණිස, පිළිවෙළකට යමක් කිරීම පිණිස දීර්ඝ කාලයක් යනවා. අතිදීර්ඝ සංසාරයක් නවත්වන්න සතියකින් දෙකකින් කල්පනා කළොත් ඒක අසාධාරණයි නේ ද? සාමාන්‍ය භාෂාවෙන් කිව්වොත් ඒක අසාධාරණ යි නේ ද? අති දීර්ඝ කාලයක් යන්න තියෙන සසර ගමනක් මේක. කෙළවරක් නො පෙනෙන ගමනක් යන්න අපට සිද්ධ වෙලා තියෙනවා.

ඉතින් ඒක මේ පැයකින් දෙකකින් ඉවර කරන්න කල්පනා කළොත් ඒක ගැලපෙනවා ද? ඒක ගැලපෙන්නේ නෑ. නමුත් අපි මුළු ජීවිතයේ ම කැප කරලා හරි කමක් නෑ මේ සසර ගමන් බිඳින්න කල්පනා කරන්න ඕන. අන්න ඒ සඳහා අපි මේ දේශනා පෙන්වා දීලා, අපි මොකක්ද පුරුදු කළ යුත්තේ. ඒ පුරුදු කළ යුතු දේ කෙසේ පුරුදු කළ යුතු ද කියන කාරණාව ඉස්මතු කරලා දෙන්න කල්පනා කළේ.

ඒ නිසා පිළිගන්න මේ ධර්මයන්, විශ්වාස කරන්න මේ ධර්මයන්. අදහා ගන්න මේ ධර්මයන්. අන්න එතකොට ඔය අය ස්වයංව ම තැන්පත් අය බවට පත් වෙනවා. කලබලය අතහැරෙනවා. ඔය අය තුළ ප්‍රබෝධමත් බව ඇතිවෙනවා. ප්‍රබෝධය කියන එක ඉබේ ඇති කරන්න බෑ. කෘතිම ව ගොඩනගන්න බෑ. මේ ධර්මය පිළිගැනීමෙන් ම ඔබ ප්‍රබෝධයට පත්වෙනවා. ඒත ධර්මතාවයක්. ඒක කාටවත් බලෙන් කරන්න බෑ.

නිසා ඔබට ප්‍රබෝධයෙන් වාසය කරන්ට ඕනෑ නම්, මේ ධර්මය අදහා ගන්න. මේ ධර්මය සත්‍යයක්, මේක පුරුදු කළොත් ප්‍රතිඵල ලැබෙනවා කියන තැනට අපි එන්න ඕන. එතකොට අපි ප්‍රබෝධයෙන් ඉන්නේ. එතකොට අපිට කාගෙවත් මෙහෙයවීමක් නැතිව මේක කරන්න පුළුවන්. අපිට කාගෙවත් බල කිරීමක් ඕන නෑ. ‘ආ මේක කරන්න.... අද කළා ද...’ කිය කියා අහන්න ඕන නෑ. අපි ආසාවෙන් කරනවා. අඩුපාඩුවක් වරදක් තිබුණොත් අපි අහගන්නවා. අහගෙන කරනවා.

කලක් යනකොට අපිට පුරුදු කරන දේට අදාළ ප්‍රතිඵල මතුවෙන්න පටන් ගන්නවා. එතකොට අපි අදහාගත්ත දේ ප්‍රත්‍යක්ෂ දෙයක් බවට පත්වෙනවා. ඒ අදහා ගත්ත දේ තවදුරටත් ප්‍රත්‍යක්ෂ වෙන්න වෙන්න අපේ ගමන තවත් වේගවත් වෙනවා. යම් කෙනෙක් ගමනක් යන්න පාර හොයනවා. පාර හොයනකොට කෙනෙක් පාර ගැන කියල දෙනවා. ඉතින් මෙයා මේක අදහාගෙන යන්න පටන් ගන්නවා. මඟ සලකුණු පෙනෙන්න පෙනෙන්න විශ්වාසය වැඩිවෙනවාද නැද්ද? විශ්වාසය වැඩිවෙනවා. විශ්වාසය වැඩිවෙන්න වැඩිවෙන්න එයා ගමන වේගවත් කරනවාද නැද්ද? වේගවත් කරනවා.

එතකොට මුලදී හිමින් ගියා කියලා අගටත් හිමින් යෑමක් තියෙනවද? නෑ. මුල දී හිමින් තමයි පටන් ගන්නේ. ඇයි ඒ? ඒක තෝරා බේරා ගන්න ඕනෑ. තෝරාබේරා ගන්න තෙක් අපි හිමිහිට යි යන්නේ. පිළිවෙළකට කරනවා කියන එකෙන් අදහස් වන එක දෙයක් තමයි ඒ. ඉතින් අන්න ඒ විදිහට ඔය අය මේ ධර්මය කෙරෙහි විශ්වාසය තියා ගත්තොත් අපිට පුළුවන්කම ලැබෙයි, පිළිවෙළකට බණ භාවනා පුරුදු කරලා අපේ ජීවිතය සාර්ථක කර ගන්න.

ඒ නිසා බණ භාවනා කරන කෙනෙක් විදියට ආරම්භයේදී ම කළයුත්තේ මේ ධර්මය කෙරෙහි නිසැක බවට පත් වන එකයි. ඒ නිසා මේ දේශනා හොඳින් කියන්න. ඒ දේශනා කියවලා භාග්‍යවතුන් වහන්සේ ගේ අවබෝධය අදහාගන්න. මෙතන නිවන් මඟ තිබෙනවා කියන විශ්වාසය ඇතිකර ගන්න. එතකොට ඔබලා ප්‍රබෝධයෙන් ඉන්න අය බවට පත්වෙයි. ඔබලා පිළිවෙළකට මේක කරන්න පටන්න ගනියි. එහෙමනම් ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් අපට පෙන්වා දී තිබෙන නිවන් මඟ කරෙහි බලවත් වූ විශ්වාසය සියලු දෙනාගේ සිත් තුළ ඇති කර ගැනීමට භාග්‍යය උදා වේවා කියලා, අපි ආශිර්වාද කරනවා....!


‘නිවන් සුව ලැබීමටත් පින් බලය හේතුවක් ’

මහඋල්පත සුනීත ධම්මාලංකාර හිමි

භික්‍ෂූන් වහන්සේ අතර ඇතිවු කථා ඇසු බුදු හිමියෝ සියලු භික්‍ෂූන් රැස් කරවා සත්‍ය කරුණු පැහැදිලි කර දුන්හ. “ මහණනි, පංච වර්ගීය භික්‍ෂූහු, යස භික්‍ෂුව , භද්‍රවර්ගී භික්‍ෂූහු ,තුන් බෑ ජටිල භික්‍ෂූහු යන මේ හැම දෙනාම අනෙකක් පතාම පින් කළහ. අග සවු තනතුරු නොපැතූහ. සැරියුත් මුගලන් දෙනම අග සවු බව පතා පින් කළ බව වදාරා, පිළිවෙළින් පැවිදි වූ හිමිවරුන්ගේ අතීත අත් බව දක්වා පසුව අග සවු වහන්සේගේ අතීත ප්‍රවෘත්ති ගෙන හැර දක්වා ඒ භික්‍ෂූන් තුළ පහළ වූ කුකුස බිඳ ලූ සේක.

සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් සසර පාරමී දම් පූරණය කොට, වෙසෙතුරු අත්බවෙන් පසුව තව්තිසා දෙව් ලොව ඉපිද, ඒ ආත්මභාවයෙන් අවසන දෙවියන්ගේ ආරාධනයෙන් පංච මහා විලෝකනයෙන් බලා දෙව්ලොවින් චුතව මිනිස් ලොව උපන්නේ බුද්ධ රාජ්‍යයට පැමිණ සංසාර සත්වයා සසරින් මුදවාලීමට ය.

දුකින් මිදීමේ මාවත සොයා ගිය ඒ උතුමෝ මැදුම් පිළිවෙතින් සත්‍ය අවබෝධය ලැබූහ. බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත් ධර්මය ප්‍රථමයෙන් අසන්නට පස්වග මහණහු පුණ්‍යවන්ත වූහ. පස්වග මහණුන් ගෙන ආරම්භ වූ බුද්ධ ශාසනය 2550 වසරක් ඉක්මවා වර්ධනය වෙමින් පවතින්නේ, එහි ඇති සත්‍යතාව නිසාම ය.

ජීවිතයේ දියුණුව සොයන මිනිසාට පදවියක් තානාන්තරයක් ලැබුණු විට, ඔහු සොම්නසට පත් වීම පුදුමයට කරුණක් නොවේ. පෘථග්ජන අය ලාභ , සත්කාර, පදවි ලැබුණු විට සතුටු වෙති. පෘථග්ජන ස්වභාවයෙන් මිදුණු සත්‍යය වටහා ගත් උතුමන්ට පදවි තානාන්තර ලැබී ඇත. එහෙත් ඒවා නිසා ඔවුන්ගේ වෙනසක් වන්නේ නැත. රහත් බව ලැබූ උතුමෝ සුඛ දුක්ඛ, උපේක්ඛා, වේදනා පිළිබඳ නොසැලී සිටිති.

උසස් නිලයක් ලැබුණු විට එයට ද්‍රොහි කරන , විරුද්ධ වන අය බහුල ලෙස දැක ගත හැකිය. එබඳු අය බුදුරදුන් දවස ද සිටියහ. නැටුම් ගැයුම් විෂයෙහි කලකිරී සත්‍යය සෙවූ අස්සජි රහත් හිමිගෙන් නියම මඟ දැන බුදුරදුන් එළැඹුනු කෝලිත උපතිස්ස පිරිවැජියන් දෙදෙනා මෙම ශාසනයේ අග්‍ර ශ්‍රාවකයන් වන බව බුදුහිමියෝ පැවසූහ. එය කෝලිත, උපතිස්ස පිරිවැජි දෙදෙනා පෙර කරන ලද පින්දම් අනුව පතාගෙන ආ උතුම් ආර්ය පදවියක් බව බුදුරජාණන් වහන්සේ භික්‍ෂු සංඝයා මැද දේශනා කිරීමෙන් පෙනී යන්නේ, අර්හත්වය ලැබීමට ද පෙර භව වලදී කර පින් දම් හේතු වන බව යි.

උරුවේල කාශ්‍යප, නදී කාශ්‍යප ගයා කාශ්‍යප යන තුන් බෑ ජටිල භික්‍ෂූන් වහන්සේ ප්‍රධාන දහසක් භික්‍ෂූන් පනසක් රහත් ථෙරවරුද යන එක්දහස් දෙසිය පනසක් රහතන් වහන්සේගෙන් එදා වේළුවනය බබළන්නට විය.

තරු පිරිවරා ගත් පුන්සඳ මෙන් රහතන් වහන්සේ මැද වැඩ හුන් බුදු පියාණෝ ධර්ම සේනාධිපති සාරිපුත්ත හා මහාර්ධිලාභී මුගලන් යන මහා ක්ෂිණාශ්‍රවයන් වහන්සේ දෙනම පිළිවෙළින් දකුණත් සවු, වමත් සවු වශයෙන් අග්‍රශාවක තනතුරු වලට පත් කළ සේක. මේ උතුම් කටයුත්ත බුදුරජුන් සිදු කර වදාළේ නවම් පුර පසළොස්වක් පොහොය දවසේදී ය.

අගසව් පදවි පිරිනැමුණු ආකාරය පිළිබඳ භික්‍ෂූන් අතර වැරදි අදහස් ඇති විය. මුලින් පැවිදි වී සිටි ජ්‍යෙෂ්ඨ තෙරවරුන් සිටියදී පසුව පැමිණි දෙදෙනාට මුහුණු බලා තනතුරු දුන්නේ යැයි ඇතැම් භික්‍ෂූහු දොස් නැගූ®හ. මේ පිළිබඳ භික්‍ෂූන් වහන්සේ අතර ඇතිවු කථා ඇසු බුදු හිමියෝ සියලු භික්‍ෂූන් රැස් කරවා සත්‍ය කරුණු පැහැදිලි කර දුන්හ. “ මහණනි, පංච වර්ගීය භික්‍ෂූහු, යස භික්‍ෂුව , භද්‍රවර්ගී, භික්‍ෂූහු තුන් බෑ ජටිල භික්‍ෂූහු යන මේ හැම දෙනාම අනෙකක් පතාම පින් කළහ.

අග සවු තනතුරු නොපැතූ®හ. සැරියුත් මුගලන් දෙනම අග සවු බව පතා පින් කළ බව වදාරා, පිළිවෙළින් පැවිදි වූ හිමිවරුන්ගේ අතීත අත් බව දක්වා පසුව අග සවු වහන්සේගේ අතීත ප්‍රවෘත්ති ගෙන හැර දක්වා ඒ භික්‍ෂූන් තුළ පහළ වූ කුකුස, බිඳ ලූ සේක.

මෙයින් ඒකානුකපකට පෙර විපස්සී බුදු හිමියෝ ලොව පහළ වූහ. එකල මහා කාල චූල කාල යන සොහොයුරෝ දෙදෙනෙක් විශාල ඇල් කෙතක් වැපිරූහ. එක් දිනක් චූල කාල ඇල්කෙතට ගොස් ගොයම් ගසක් පලා එහි වී ඇට කෑවේය. එය ඉතා මිහිරි විය. ඔහු බුදු පාමොක් සඟනට ඇල් ගැබ් දනක් දීමේ අටියෙන් දෙටු සොහොයුරා වෙත ගොස් “අයියේ ඇල් ගැබ් පලා බුදුරදුන්ට කැප ලෙස පිස දනක් දෙමු “යි කීය.

එවිට අයියා “මල්ලී මොනවද නුඹ කියන්නේ? ඇල් ගැබ් පලා දන්දීමක් අතීතයෙන් කෙරුණේ නැත. අනාගතයෙත් එසේය. කුඹුර නොනසා සිටිනු “ යි කීය. එහෙත් නැවත නැවතත් මලණුවන්ගේ අයැදීම හේතුවෙන් “ එහෙනම් කුඹුර දෙකට බෙදා මගේ කොටසට අත නොගසා ඔබේ කොටසින් කැමැත්තක් කරගන්න යැයි කීවේය. හෙතෙම එය පිළිගෙන කුඹුර බෙදා බොහෝ දෙනාගේ උදවුවෙන් ඇල් ගැබ් පලා දිය නැති කිරෙහි පිස ගිතෙල්, මී පැණි හකුරු සමඟ බුදුරදුන් ප්‍රමුඛ භික්‍ෂූන් වහන්සේට දන් දී දානයෙන් අනතුරුව ‘ස්වාමීන් මගේ මේ අගසස් දානය, ශ්‍රේෂ්ඨ ධර්මයක් පළමුවෙන් අවබෝධ කර ගැනීම සඳහා වේවායි පැතීය.

බුදු රජු එය එසේ වේවායි අනුමෝදනා කළහ. දනෙන් පසු චූල කාල කෙතට ගොස් කුඹුරු බලන්නේ මුළු කෙතම මිටි බැඳුණු සෙයින් ඇල් කරලින් පිරී තිබෙනු දැක පී‍්‍රතියට පැමිණ එකම කුඹුරෙන් අවස්ථා නවයක දී මහ දන් දුන්නේ ය. දන් දී තම පැතුම කීය. මෙලෙස ඔහු පියුමතුරා බුදුරදුන් දවසේත් එසේම දන්දී තම පැතුම කළේය.

මෙලෙස කොණ්ඩඤ්ඤ හිමියන් පෙර ආත්ම වල පින් දහම් කර පැතු දෙයම ලබා ගත්තේ යැයි බුදුරජු වදාළහ. අනතුරුව බුදු රජු යස කුල පුතුගේ අතීත කථාව දෙසු සේක.

පෙර යස කුල පුතු හා ඔහුගේ යහළුවන් රහත් බව පතන්නේ බොහෝ පින් කම් කොට බුදුරදුන් නැති කල ද එකම මිතුරන් සමූහයක්ව වී පින් දහම් කරන්නෙ, කාත් කවුරුත් නැති අනාථයන් සේ මිය ගිය අයගේ සිරුරු භූ®මිදානය කිරීම ආදාහනය කිරීම වැනි කටයුතු වල නියැළුණහ.

ඔවුහු දිනක් මිය ගිය ගැබිණි ස්ත්‍රියක් දැක ඇය දව දවා අසුභ සංඥාව ඉපැදවූහ. ඔවුහු අනෙක් දෙනාටද තැන තැන ගැලවී ගිය සිරුර බලන්නැයි දැක්වූහ. ඔවුහු ද එම සිරුර දැක අසුභ සංඥාව ඉපැදවූහ. මොවුහු මවුපියන්ටද හිතවතුන් ටද මෙය දන්වා සිටියහ. පසුව ඔවුන් සියලු දෙනාම අසුභ සංඥාව මෙනෙහි කළහ. ඒ හේතුවෙන් සියල්ලන්ටම විශේෂ ඤාණ පහළ විය.

පසුව බුදු හිමියෝ සැරියුත් මුගලන් දෙනමගේ පෙර ආත්මය සිහිපත් කළ සේක.

මෙයින් එක් අසංඛ්‍ය කල්ප ලක්‍ෂයකට පෙර සැරියුත් හිමියෝ බමුණු මහසල් කුලයෙහි උපන්හ. නමින් සාරද මානවක විය. මුගලන් හිමියෝ අතීතයේ ගැහැවි කුලයේ ඉපිද සිර්වඩ්ඪන නමින් ප්‍රසිද්ධ විය. ඔහු දෙදෙනා හොඳ හිතවතුන් වූහ. සාරද බමුණා පියා ඇවෑමෙන් සියලු දනය දුගී මගී යාචකයන්ට දී තවුස් පැවිද්දෙන් පැවිදි විය. බොහෝ කලකින් හේ අෂ්ට සමාපත්ති උපදවාගෙන සිය ශිෂ්‍ය පිරිසට එය ඉගැන්වීය.

ඒ අනුව කිසුණු පිරියම් බවුන්හි යෙදීමෙන් ඔවුහු සියල්ලෝම පඤ්ච අභිඥා අෂ්ට සමාපත්තින් ඉපිද වූහ. එසමයෙහි අනෝම දස්සී බුදු රජු ලොව පහළ වූහ. නිසභ හා අනෝම යනුවෙන් අග සව් දෙනමක් වූහ. දිනක් බුදු රජු සාරද තවුසා වෙත වැඩම කළහ. සාරද තවුසා බුදු රජු ඇතුළු රහතන් වහන්සේ දැක පුෂ්පාසන පැනවූහ.

සාරද තාපසයෝ බුදුන් වහන්සේගේ මස්තකයෙහි මල් සතක් දරමින් සිටියහ. අනතුරුව ඔවුන්ගේ සත්කාරය මහත් ඵල කරනු පිණිස බුදුහු නිරෝධ සමාපත්තියට සම වැදුණු සේක. පසුව බුදුරජහු නිසභ ථෙර නම අමතා පුෂ්පාසනානු මෝදනාව පවත්වන ලෙස වදාළහ. ථෙරහු එසේ කළහ.

පසුව ද්විතීය ශ්‍රාවක අනෝම ථෙරහුද දහම් දෙසූහ. දහම් කෙළවර සාරද තවුසා හැර අනෙක් අය රහත් වූහ. සාරද තවුසා අග සවු පදවි ලබන රිසියෙන් සිටි නිසා රහත් නොවීය. තවුසා බුදුරදුන් ට සතියක් මුළුල්ලේ පුෂ්ප ඡත්‍ර දරමින් කළ මහා සත්කාරය හේතු කරගෙන අනාගතයේ මේ නිසභ ථෙරුන් මෙන් බුදුකෙනකුන්ට අග්‍රශාවක වෙම්වායි පැතූ®හ. එය එසේ වේවායි බුදු රජු අනුමෝදනා කළහ.

සිරිවඩු කෙළඹියාහට සිය යහළුවාගේ මේ උදාර පින්කම පිළිබඳ තොරතුරු දක්වා යැවූහ. ඔවුහු බුදුපාමොක් සංඝයාට දන්දී වැඳ මෙසේ කීය.” ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මගේ යහළු සාරද තාපසයෝ සම්බුදු කෙනෙකුන්ට අග්‍ර ශ්‍රාවක වෙම්වායි ප්‍රාර්ථනා කළහුද මම ද එම බුදුරදුන් දෙවන අග සව් වෙම්වා’යි ප්‍රාර්ථනා කළහ. බුදුහිමියෝ ඔහුට ද නියත ෂවරණ දුන් සේක. පසුව සාරද තවුසාත් සිරිවඩ්ඪන කෙළෙඹියාත් එකල ඉපිද සැරියුත් මුගලන් නමින් පැවිදි වී රහත් බව ලබා එම තනතුරු ද ලබාගත් බව බුදුපියාණෝ දෙසූ සේක.

පින් දහම් කරන බෞද්ධයෝ අද බොහෝ වෙති. එහි වටිනාකම; උතුම් නිර්වාණය පතන්නේ නම් තවත් වැඩිවෙයි. සිතට එකඟව කරන පින් දහම් තුළින් අනෙකුත් ලෞකික සම්පත් විශේෂයෙන් නොපැතුව ද , ලැබෙන්නේමය.

බුදු සරණ අන්තර්ජාල කලාපයේ පළ වූ ලිපියකි.

ඔබ ස්වාධීන වීමට කැමැති ද?




අප අපගේ ක්‍රියා පිළිබඳ අවධානයෙන් කිළිටි ක්‍රියාවලින් මිදී ගත කරනවා නම් මේ පසුතැවිල්ල, කනගාටුව අපේ ජීවිතවලට එන්නේ නැහැ. කිළිටි බවින් තොරවීම ම යි ජීවිතයක අභිමානය. මේ අභිමානය පිළිබඳ අදහස් කුඩා කල පටන් ම දරුවන් තුළ වර්ධනය කළ යුතු යි. මෙතැන දී තමයි ධර්මයේ වැදගත් බව ඉස්මතු වන්නේ. මේ සඳහා මවුපියන්ට හොඳ අවබෝධයක් තිබෙන්නට ඕනෑ. ධර්මය ගැන මුල් ම පැහැදීම තිබීම අවශ්‍ය වන්නේ මවුපියන් අතර යි.
වත්මන් සමාජයේ දරුවන් ඉතා අඩු වයසින් ම ස්වාධීන වීමට ගන්නා උත්සාහයක් අද වන විට දක්නට ලැබෙනවා. මීට විවිධ හේතු තිබෙන්නට පුළුවන්. බටහිර රටවල දරුවන් ඉතා අඩු වයසින් ම සිය ජීවිතය පිළිබඳ ස්වාධීන තීරණ ගැනීමට පෙළඹී සිටින බව පෙනෙන්නට තිබෙනවා.

අප සමාජයේ කුඩා දරුවන් පවා දැන් පෙම්වතුන් හෝ පෙම්වතියන් ලෙස හැසිරෙන්නට පටන් අරන්. මා ඔබට කියන්නම් මෑතක දී සිදු වූ අපූරු සිදුවීමක් ගැන. මේ සිද්ධියට සම්බන්ධ වූ දියණියගේ වයස අවුරුදු දහතුන යි. ඈ පාසලේ හත්වැනි වසරේ දරුවෙක්. ඈ වැලන්ටයින් දිනයේ දී පේ‍්‍රමවන්තයකුට ලිපියක් ලිව්වා. මුද්දකුත් සොයා ගත්තා. පෙම්වතා ගේ වයස අවුරුදු දාහතරයි. ඉතින් මේ දුව මේ මුද්ද අර පෙම් ලිපියේ දවටලා විසිතුරු විදියට සරසලා පෙම්වතාට දුන්නා. මේ දෙන්නාට ම රක්ෂණ මාර්ගයක් නැහැ. කුඩා ළමයි. හරි ම බොළඳ හැඟීම් සමුදායක් තමයි මේ ක්‍රියාත්මක වන්නේ. හැබැයි මෙහෙම කාලය ගත වෙද්දී අර දූට අවුරුදු පහළොව විතර වන විට මේ සම්බන්ධයේ ඇති අරුත් සුන් බව ඈට වැටහෙන්නට පටන් ගත්තා. ඈ පෙම්වතාට කරුණු පැහැදිලි කරන්නට වුණා. ‘අපි තවමත් ඉගෙන ගන්න වයසේ. අපි දැන් කළයුතු අධ්‍යාපන කටයුතු කර ගැනීමයි’. ආදී වශයෙන් ඈ කරුණු ඉදිරිපත් කළා. ඒත් මේ පුතා තීරණය කළා තවදුරටත් තමා ජීවත් වීමෙන් පලක් නැතැ යි කියා. මේ විදියට ඔහු තීරණයකට ආවා සිය දිවි නසා ගැනීමට. ඒ වෙනකොට ඔහු ගේ වයස දාහතක් විතර ඇති.

දැන් ඔහු වහ බෝතලයකුත් සපයාගෙන බොන්නයි සූදානම. මේ වෙනකොට ඔහු ගේ අධ්‍යාපනය සම්පූර්ණයෙන් ම කඩාකප්පල් වෙලා ඉවරයි. ඊට මුළුමනින් ම හේතු වුණේ මේ පේ‍්‍රම සම්බන්ධ යි. ඔහු ඇත්තට ම ජීවිතේ වරද්දා ගත්තා. හැබැයි හොඳ වෙලාවට ජීවිතය හානි කර ගැනීම ඥාතියකු නිසා මඟ හැරුණා. අප අවසාන වශයෙන් ඒ දරුවා පුනරුත්ථාපනය කළා.

දැන් වෙලා තියෙන්නේ අවුරුදු දොළහ, දහතුන වෙද්දී තමන්ට ‍ෙපම්වතකු හෝ පෙම්වතියක අවශ්‍යයි කියා මතයක් දරුවන් අතරට ගිහින්. මෙය මහ පුදුමාකාර අදහසක්. තමන්ට පේ‍්‍රමවන්තියෙක් නැතිනම් එය අසම්පූර්ණ අංගවිකල ජීවිතයක් ය වැනි ආකල්පයක් මේ කුඩා දරුවන් අතර ප්‍රචලිත කරවලා.

ඇත්තට ම මේ කාලය තමා මේ දරුවන් යහපත් පුරවැසියන් ලෙස සකස් වීමට සුදුසු කාලය. දැන් අපි බලමු එවන් යහපත් ජීවිතයකට අවශ්‍ය වැදගත් කරුණු ගැන. අධ්‍යාපනය, ඉන්ද්‍රිය දමනය, සිල්වත් බව, සංවර බව, දුරදිග කල්පනා කිරීමේ හැකියාව වැනි වැදගත් කරුණු ජීවිතයක කුඩා අවදියේ දී ම ලැබුණොත් ඒ ජීවිතය උදාර බවට පත්වෙනවා. මේ සියලු අංග වර්ධනය කරගත යුතු කාලය පේ‍්‍රම බන්ධනයකින් වැසී ගිය විට ජීවිතයම අවුලක්.

සිය දරුවන් ගේ ජීවිතවලට ධර්මය ලබාදීමට සෑම මවුපියන්ම උත්සුක විය යුතු යි. ඇත්තට ම මේ කාරණාව ගැන දැන් සමාජයේ තැකීමක් නැහැ. දරුවන්ට අධ්‍යාපනය ලබාදීම භාෂා ඤාණය ලබාදීම වැනි කාරණා මෙන් ම නිසි වයස එළැඹි විට ඔවුන්ට රැකියා සපයා දීම, විවාපත් කරදීම වැනි කරුණු කෙරෙහි ම පමණයි මවුපියන් ගේ අවධානය යොමු වී තිබෙන්නේ. මේ සියලු කාරණා ගැන වෙහෙසෙන අතර මවුපියන් දරුවන් ගේ ජීවිතාභිවෘද්ධියට අදාළ ම කාරණාව අතපසු කර දමනවා. මෙහි භයානක ප්‍රතිපල දැනටමත් අපට පැහැදිලි ව පෙනෙන්නට තිබෙනවා නො වේ ද?

මම හොඳට ම දන්න කාරණාවක් කියන්නම්. දැන් බටහිර රටවල තත්ත්වය මොන වගේ ද කියලා බලන්න. ඒ රටවල ධර්මය නැහැ. දරුවන් ගේ ජීවිතවලට ධර්මයේ පිහිටක් ලැබෙන්නට පරිසරයක් නැහැ. ඒ දරුවන් කුඩා වියේ පටන් ම වැඩිහිටියන් මෙන් ජීවිත ගත කරන්නට යොමු වෙලා.

කැනඩාවේ සිද්ධියක් මම කියන්නම්. එහි තිබෙනවා අසාර්ථක වූ ජීවිත ගොඩනැංවීමේ පාසල්. මේවා පුනරුත්ථාපන මධ්‍යස්ථාන වගේ. මේ වගේ පාසල්වල ඉන්න දරුවන්ගේ වයස අවුරුදු දහතුන දාහතර වගේ අය යි. මෙවැනි දරුවන් තමන් ගේ දරුවන්වත් වඩාගෙන පන්ති එනවා. ඒ කියන්නේ පාසලේ හත්වැනි, අටවැනි ශ්‍රේණිවල දරුවන්. මේ රටවල දරුවන් බොහෝ විට වයස අවුරුදු දහතුනින් පමණ නිවෙසේවලින් පිටවුණා ම ඉන්පසු ඒ අයට මවුපියන් ගේ් බලපෑමක් නැහැ. බොහෝ දරුවන් මේ විදියට සිය නිවෙස්වලින් පිටවුණා ම ආයෙමත් යෑමක් සිදුවන්නේ නැහැ. මිත්‍රයන් ගේ ගෙවල්වල එහෙම නැවතිලා ඉන්නවා. ඒ අයට අවශ්‍ය ජීවිත ගත කරනවා. ගෙදරින් පිටවුණාම පසු මවුපියන් යළි ඒ දරුවා පිළිගන්නෙත් නැහැ. මේ වයසේ දී මේ දරුවන් තම ජීවිකාව උපයා ගත යුතුයි. නො එසේ නම් රැකියාවක් සොයා ගත යුතුයි. මේ අය ඉගෙන ගන්න අතරතුර රැකියාවකුත් කරනවා. මේ වයස වෙද්දී මේ සමහර දරුවන්ට දරුවන් දෙන්නකු ම ලැබිලා. මේ බාල වයසේ දී කුලියට කාමරයක් අරගෙන ඒ කුලී මුදලුත් ගෙවාගෙන, පාසල් යන අතරවාරයේ අමතර රැකියාවකුත් කරමින්, දරුවන් දෙදෙනකුත් රක්ෂා කළ යුතුයි. ඇතැම විට මවුපියන් තරයේ අදහාගෙන සිටිනවා, වයස අවුරුදු පහළොවෙන් පසු දරුවන් වෙන් ව ජීවත්විය යුතුයි කියා. ඉන්පසු දරුවන් ගැන මවුපියන් ගේ වගකීමක් නැහැ. අවුරුදු පහළොවෙන් පසු දරුවා නිදහස්. මවුපිය බැඳීම් නැහැ. එවැනි දරුවකුට ඒ වයස වන විට පෙම්වතකු හෝ පෙම්වතියක සිටිය යුතු ම යි කියා ඒ සමාජය සලකනවා. එහෙම පේ‍්‍රමවන්තයෙක් නැතිනම් මවුපියන් දරුවා මනෝ වෛද්‍යවරයෙකු වෙත රැගෙන යනවා. පේ‍්‍රමවන්තයකු හෝ පේ‍්‍රමවන්තියක නොමැති වීම රෝගයක් කියා යි ඒ සමාජය කල්පනා කරන්නේ.

මේ තත්ත්වයට පත් වූ සමාජයක් මොන තරම් භයානක ද? මෙවැනි සමාජයක නායකත්වයට සුදුසු ලක්ෂණ මතු වේ යැයි සිතන්නේ කොහොම ද? මේ නිසා අප විසින් අවධාරණයෙන් ම වටහා ගත යුතු යමක් තිබෙනවා. එනම් බාල වයසේ සිට ම දරුවන් තුළ සිල්වත් ජීවිතයක් ගත කිරීමේ ඇති වටිනාකම පිළිබඳ අදහස් ස්ථාපිත කළ යුතු යි යන්න යි. වාගේ ම මේ වයස්වල දරුවන් ආගමික කටයුතුවලට සම්බන්ධ කරවා ගැනීම ඉතා වැදගත්. එවැනි දරුවන් හරි ම චරිතවත්.

මනුෂ්‍යයා කිලිටි වන්නේ මනුෂ්‍යයා ගේ ම ක්‍රියා නිසා. මනුෂ්‍යයා පිරිසුදු වන්නේත්, මනුෂ්‍යයාගේ ක්‍රියාව නිසා ම යි. කිළිටි ක්‍රියා හේතුවෙන් හිරගෙවල්වල ලගිනවා. මුළු ජීවිතයට ම අර්බුද හදා ගන්නවා. කිළිටි දේ හේතුවෙන් ජීවිතයට ම පසු තැවෙන දේ සිදු කර ගන්නවා.

අප අපගේ ක්‍රියා පිළිබඳ අවධානයෙන් කිළිටි ක්‍රියාවලින් මිදී ගත කරනවා නම් මේ පසුතැවිල්ල, කනගාටුව අපේ ජීවිතවලට එන්නේ නැහැ. කිළිටි බවින් තොරවීම ම යි ජීවිතයක අභිමානය. මේ අභිමානය පිළිබඳ අදහස් කුඩා කල පටන් ම දරුවන් තුළ වර්ධනය කළ යුතු යි. මෙතැන දී තමයි ධර්මයේ වැදගත් බව ඉස්මතු වන්නේ. මේ සඳහා මවුපියන්ට හොඳ අවබෝධයක් තිබෙන්නට ඕනෑ. ධර්මය ගැන මුල් ම පැහැදීම තිබීම අවශ්‍ය වන්නේ මවුපියන් අතර යි. වැලන්ටයින් දිනයේ දී රෝස මලක් ත්‍යාග කිරීම වැදගත් කොට සලකනවා නම්, මෙන්න මේ ධාර්මික අවබෝධය ම යි ඉතා වටිනා රෝසමල විය යුතු වන්නේ.

ඒ වාගේ ම මේ දිනයේදී රෝස මලක් වෙනුවට ධම්මපදය වැනි පොතක් සිය පෙම්වතාට හෝ පෙම්වතියට තෑගි කරන්නට හැකි සමාජයක් අප ඇතිකරගත යුතුයි. යුරෝපීයයන්ට ධර්මය නැති වුණාට අපට පැහැදිලි පදනමක් ඇති දහමක් තිබෙනවා. මේ කාරණාව අප පැහැදිලිව වටහා ගත යුතු යි.

පේ‍්‍රමවන්තයන් අතර වටිනා දහම් පණිවිඩ හුවමාරු කරගත හැකි නොවේ ද? දහම් පණිවිඩ කී පමණින් කෙනකු මෙය වරදවා වටහා ගත හැකි යි. දහම් පණිවිඩයක් යනු වයස්ගත උපාසකයන් ගේ යමක් යැයි සිතා ගත යුතු නැහැ. අප දැන් හැම විටම විශේෂ යමක් කියා සිතන්නේ ම බටහිර ජාතිකයකු ගේ කියමනක් හෝ ප්‍රකාශයක් පමණ යි. පඬි වදනක් වන්නේත්, එවැනි විදේශිකයකු ගේ කියමනක් ම යි.

අප පඬි වදන් හැටියට තෝරන්නේ ම විදේශිකයන් ගේ පොත්වලින් උපුටා ගන්නා කුඩා පාඨ නොවේ ද? එතකොට පඬිවරුන් බිහිවන්නේ බටහිරම ද? පෙරදිගට බැහැ ඒ කියන්නේ පඬිවරුන් බිහි කරන්නට? පඬිවදන් ලියැ වී තිබිය යුතු ඉංගී‍්‍රසි බසින් පමණ යි ද?

මේ අතර අප වටිනා දහම් පාඨයක් ඉදිරිපත් කළහොත්, එය වයසක අප ගේ වැඩක් වෙනවා. ඒත් මේ දහම් පාඨ, දහම් පණිවිඩ ආදිය, අප භාග්‍යවතුන් වහන්සේ උන්වහන්සේගේ අසමසම ප්‍රඥාවෙන් ලෝකාවබෝධයෙන් යුතු ව ඉදිරිපත් කළ ප්‍රකාශ යි. මෙවැනි ප්‍රකාශ ඉදිරිපත් කිරීමට තවත් බුදුවරයකුටම හැර වෙනත් කිසිවකුට හැකියාවක් නැහැ. මේ ප්‍රකාශවලට ම යි, ජීවිත සුවපත් කළ හැකි වන්නේ.

වැලන්ටයින් දිනය සමරනු කැමැති වූ දරුවන්ට ඉතා වැදගත් ප්‍රකාශයක්, ධර්මය ඇසුරින් ගෙන හැර දක්වන්නට මම කැමැතියි. දැන් අපට පෙනෙනවා, සංසාරගතව ම එන සබඳතා තිබෙන බව ඇතැම් අය අතර. මෙවැනි අය, මේ ජීවිතයේදීත් මුණ ගැසෙනවා. පේ‍්‍රමණීය සබඳතා ගොඩනගා ගන්නවා.

මෙවැනි එක් උදාහරණයක් තමා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ගේ ගිහි ජීවිතයේ දීත් අපට හමුවන්නේ. ඇත්තට ම මේ විදියට දෙදෙනෙක් එක් වන්නේ් කලාතුරකින්. මේ දෙදෙනා ම පින්වන්තයන්. එහි අදහස සමානව පින් කළ අය බව යි. මෙවැනි දෙදෙනකු ඇතැම් විට මවුපියන් ගේ යෝජනා කිරීමක් අනුව එක්තැන් වෙනවා.

දැන් බලන්න මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ බොහොම රූප සම්පත්තියෙන් යුතු වූ කෙනෙක්. උන්වහන්සේ ගිහි ජීවිතය ගත කරන විට මවුපියන් විවාහයක් පිළිබඳ යෝජනා කරන්නට පටන් ගත්තා. ඒත් මොහු ගේ කැමැත්ත වූයේ විමුක්තිය සොයා යෑමට යි. දැන් මේ තරුණයා කල්පනා කළා මේ විවාහ යෝජනාවලින් ගැලවී සිටීමට හැකි මඟක්. මෙසේ සිතා මොහු ඉතා ම ලස්සන රුවක් තැනෙව්වා. මේ ආකාරයේ රූපයක් ඇති තරුණියක පමණයි මා විවාහ කර ගන්නේ කියාත්, කීවා. ඔහු සිතුවේ මෙවැනි රුවක් ඇති ළඳක් සොයා ගත හැකි නො වන බව යි.

ඒත් මේ ආකාර රුව ඇති තරුණියක් සොයා ගැනුණා. ඉතින් ගැලවීමක් නැති තැන විවාහ විය යුතු ම තැනට කටයුතු යෙදුණා. මේ දෙදෙනාට කතිකා කර ගැනීමටත් මවුපියන්ගෙන් ඉඩ ලැබුණා. තිප්පලී කුමාරයා තමා එතුමාගේ ගිහි නම වුණේ.

ඉතින් මේ කුමාරයා තමා ගේ මනමාලිය වීමට නියමිත භද්දකච්චානාට මෙසේ කීවා. විවාහ ජීවිතයට මගේ කිසි කැමැත්තක් නැහැ. මට අවශ්‍ය විමුක්තිය සොයා යෑමට. මා බ්‍රහ්මචාරී ව සිටින කෙනෙක්’.

එවිට ඒ කුමාරිකාවත් මෙසේ කීවා. ‘අයියණ්ඩි, මාත් විවාහ දිවියකට කිසි කැමැත්තක් නැහැ. මාත් බ්‍රහ්මචාරී ව දිවි ගෙවන කෙනෙක්’.

මෙයින් පසු මේ දෙදෙනා තීරණයකට ආවා. එනම්, තමන් විවාහ විය යුතු බව යි. විවාහවීමෙන් පසු ද බඹසරව ජීවත් වීමට තීන්දු වුණා. දෙදෙනා විවාහ වූ පසු මේ අය සැතපෙන යහන මැදින් මල් මාලයක් තබනවා. එක් අයකු ගේ හෝ සිතක රාගී සිතිවිල්ලක් පහළ වුවහොත් මල් මාලය පර වන බවට ශපථ කළා. ඒත් විමුක්තිය සොයා යන තුරු ම ඒ මාලය පරවුණේ නැහැ. බලන්න මෙවැනි උදාර චරිත ඇති අය මේ සමාජයේ සිටියා. මේ සසර ගමනේ දී ඇතැම් අය මේ වගේ පින් පුරවාගෙන එනවා. මෙවැනි පින්වන්තයන් ඇතැම් විට මේ ජීවිතයේ දී එක්වන්නටත් පුළුවන්.

බුද්ධ කාලයේ විසූ නකුල මාතා, නකුල පිතා යන දෙදෙනා බුදුරජාණන් වහන්සේ හමුවට විත් සැළ කර සිටියා, ඒ දෙදෙනා යළි සංසාරයේ දී මුණ ගැසීමට කැමැති බව. එවිට බුදුරජාණන් වහන්සේ පැවසුවා ‘හොඳයි එසේ නම් ඔබ දෙදෙනා සමාන ශීල, ත්‍යාග, සද්ධා, ප්‍රඥා ඇතිකරගතහොත් මේ අදිටන සපුරන්නට ඔබට හැකියාව ලැබේවි කියා. මේ විදියට මේ ගුණයන්ගෙන් සමාන අය සමාජයේ සිටින්නට පුළුවන්. ඒ සමානත්වය හේතුවෙන් ම ඔවුනොවුන් කෙරෙහි සෙනෙහෙවන්ත වන්නටත් පුළුවන්. මෙය ඇත්ත වශයෙන් ම වාසනාවන්ත බැඳීමක්. මෙවැනි අයට ලෞකික ජීවිතයක් සාර්ථක කරගෙන, කුසල් වර්ධනය කර ගැනීමේ හැකියාව ලැබෙනවා.

ඒත් සමහර පේ‍්‍රම සබඳතා ඇති වන්නේ, විඳවීමට මයි. මෙවැනි අය සම්බන්ධ වූ දා පටන් ම නොගැලපීම්, ගැටලු මතු වනවා. ඒත් මේ සියලු ගැටලු අතර පවා මේ දෙදෙනා වෙන් වන්නේත් නැහැ. පීඩාවට පත් වෙමින්, ඒත් වෙන් නොවී ජීවත් වනවා. මේ විඳවීම සිදුවන්නේ, පෙර පවක් නිසයි.

ඇත්තටම තමන් සංසාරේ ගතකළ ජීවිත අනුව රැස් කර ගත් දේ, මේ ජීවිතයට ඒ ඒ ආකාරයට බලපෑම් ඇති කරනවා. මෙවැනි දේට බිය වූ විට යි විවාහයට පෙර පොරොන්දම් බලන්නේ. ඒත් පොරොන්දමට බැහැ විවාහ ජීවිතයක් සාර්ථක කර දීමට. ඒත් ධර්මයට හැකියි එය කිරීමට. කිසියම් දෙදෙනකු සමාන ශීල, සමාධි, ප්‍රඥාවලින් යුතු වීමෙන් ම යි, මෙය සිදුකළ හැකි වන්නේ.

දරුවන් නිසා, වෙනත් සමාජ බැඳීම් නිසා, කිසියම් විවාහයකින් පසු නොගැළපීම් ඇතත් අභ්‍යන්තර විඳවීම් මැද ජීවත් වන පුද්ගලයන් බොහෝ සිටිනවා. ඒත් මේ සියලු අයට පිළිසරණ, ධර්මය ම යි. විවාහ ජීවිතයේ දී සැප උදා කර ගැනීමට නම්, ජරාවට පත්වන තුරු ම ශීලයෙන් යුතු ව, බුදුරජාණන් වහන්සේ පිළිබඳ සිත පහදවාගෙන සිටීමෙන්, ප්‍රඥාව උපදවාගෙන සිටීමෙන්, පව් නොකර සිටීමෙන් එය උදාකර ගත හැකි බව බුද්ධ දේශනාව යි. සිල්වත් බව බිඳුණු පසු ඒ විවාහ ජීවිතය තුළ බලපැවැත්වෙන්නේ සැකය ම යි. ඉන්පසු කිසිදු සහනදායි සබඳතාවක්, මේ දෙදෙනා අතර ඇති වන්නේ නැහැ. මේ නිසා, මේ සියලු කරුණු පිළිබඳ ඉතා හොඳ අවධානයකින් අප සිටිය යුතු යි.

කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
(සිත්මල් යාය - 2 කෘතියෙනි)

සටහන - තනූජා ධර්මපාල

බුදු සරණ අන්තර්ජාල කලාපයේ පළ වූ ලිපියකි.

ඔබ භාවනාවට බිය ද ?



දැන් මං අපේ භාවනා වැඩසටහන්වල දී භාවනා ක්‍රම උගන්වනවා. ඒවා මොනවා ද? මෛත්‍රී‍්‍ර භාවනාව; මෛත්‍රී චිත්තයෙන් නිතර ඉන්නැයි කියන එක. බුද්ධානුස්සතිය; බුදු ගුණ සිහි කරමින් ඉන්නැයි කියා කීම. ඊළඟට අනිත්‍ය යැයි කියන දේ සිතමින් සිටින්නට උපදෙස් දීම. ආනාපාන සතියේ දී සිත තැන්පත් කර ගැනීමට පෙළඹවීම. ඉතින් ඔබට ම පෙනෙනවා ඇති මේ සියලු දේ භයානක නම්, යහපත් දේ මොනවා ද? මේවා නොසිතිය යුතු නම්, සිතිය යුත්තේ මොනවා ගැන ද?

අද සමාජයේ සමහරු භාවනාවේ යෙදීමට කැමැති වුණත් ඊට බයයි. මේ පිළිබඳ මොනතරම් විස්තර බුද්ධ දේශනාවල ඇතුළත් දැ යි බොහෝ අය දන්නේ නැහැ. සූත්‍ර දේශනා පමණක් 18,000 ක පමණ ප්‍රමාණයක් තවමත් සුරක්ෂිතව තිබෙන බව අදටත් ඇතැම් බෞද්ධයන් නො දන්නා කාරණාවක්.

දැන් මේ දේශනා බොහෝමයක් සිංහලට පරිවර්තනය වී තිබෙන නිසා ඔබට මේ පිළිබඳ අවබෝධය ලබා ගැනීම ඉතා පහසු වී තිබෙනවා.

තවත් සමහරුන් සිතන්නේ භාවනාවට පුද්ගලයකු යොමුවන්නේ ඒ තැනැත්තා ගේ් ජිවිතයේ පවතින කිසියම් ගැටලුවක් හෝ කරදරකාරී තත්ත්වයක් නිසා බව යි. බුද්ධ දේශනා පිළිබඳ අල්පමාත්‍ර හෝ දැනීමක් ඇත්නම් මෙවැනි මිථ්‍යා මතවල කිසිවකු එල්බ ගන්නේ නැහැ. එහෙත් අද සමාජයේ බහුතරයකට මේ දේශනා ගැන වැටහීමක් නොමැති නිසා මෙවැනි මතමයි වඩාත් ප්‍රචලිත ව තිබෙන්නෙ.

කෙසේ වෙතත් ගරුතර ස්වාමීන් වහන්සේ පවසන්නේ මෙවැනි මත පැතිරී තිබෙන්නේ අප වැනි රටවල පමණක් බව යි. ඉන්දියාවේ බහුතර ජනතාවක ගේ මතය මීට හාත්පසින්ම වෙනස්. බටහිර රටවල පවා මිනිසුන් භාවනාව ගැන අවබෝධයකින් යුතුව යි කටයුතු කරන්නේ.

මම ඔබට මේ සඳහා හොඳ උදාහරණයක් දක්වන්නම්. මා වරක් ධර්ම ප්‍රචාරය සඳහා ඇමරිකාවට යන්නට සූදානම් වූ විට එහි රේගුª නිලධාරියෙක් මගෙන් ඇසුවා එහි යෑමට අදාළ හේතුව ගැන. මා කීවා මා එහි යන්නේ භාවනාව ඉගැන්වීමට යි කියා. ඒ පිළිතුරින් ඔහු ඉතාමත් සතුටට පත් වුණා. ඔහු මට කියනවා ඉතා හොඳයි, මාත් ඉතා කැමැතියි භාවනාවට කියා.

ඉතින් බලන්න එවැනි රටක දී භාවනාවට ඉහළ අගයක් හිමිවීමටත්, අපේ වැනි රටක එය එසේ නො වීමටත් හේතුව කුමක් ද කියා. ඇත්තටම බටහිර රටවල උදවිය බුදුදහම කරා යොමු වන්නේ දැනුම ඔස්සේ නො වේ. භාවනාව ඔස්සේ ම යි. බටහිර රටවල ජනපි‍්‍රය මාතෘකා දෙකක් තිබෙනවා. ඒ තමයි යෝග සහ භාවනාව. ඒ අය ශාරීරික සුවතාව සඳහා යෝග යොදා ගන්නවා. භාවනාව යොදා ගැනෙන්නේ මානසික සුවතාව සඳහා යි. දැන් අපේ රටේ බැලුවොත් මේ දෙක ම නැහැ නේද? අපේ මිනිස්සු මේ දෙකට ම ගරහනවා. මොකක්ද මේ පෙරදිග ඇතිවුණු පිරිහීම? මා ඔබට කියන්නම් මේ පිරිහීමේ රහස මොකක්ද කියලා.

මේ රටවල ඉන්නවා මානසිකව ඔද්දල් වූ ජනතාවක් කාම පිපාසිත වූ. මේ අයට ජීවිතයේ කිසි ම අවබෝධයක් නැහැ. වින්දනය පමණක් ඉලක්ක කරගෙන හිස් ජීවිතයි මේ අය ගත කරමින් ඉන්නේ. මේ හිස් පුද්ගලයන් විසින් සමාජය තුළ ඇති කරන ලද මතයක තමයි අපේ බහුතරයක් එල්ලීගෙන ඉන්නේ.

තවත් මතයක් අපේ රටේ බොහෝ ප්‍රචලිතයි. එනම් භාවනා කිරීමෙන් සිහි විකල් වියහැකි යැයි කියන මතය යි. ඇත්තෙන්ම එහෙම දෙයක් නැහැ. භාවනා කළා කියා එහෙම වන්නේ නෑ.

ඕනෑම මානසික රෝගියෙක් මානසික රෝගී බවට පත් වන්නේ කල්පනා කිරීමෙන්. කිසිවෙක් තමන්ට පීඩාවක් ඇතිවන ආකාරයට වැරැදි යමක් කරන බව දිගින් දිගටම කල්පනා කළ විට එහෙම රෝගී වෙනවා. මානසික රෝගයක මූලාරම්භය අමතක වීම. බලාගත් අත බලාගෙන සිටීම, ඒ වාගේ ම විකෘති ආකාරයට දිගින් දිගටම එක ම දෙයක් ගැන සිතමින් සිටීම ආදිය යි. මේ සියල්ල ම පුද්ගලයකුට පහසු වන්නේ ඒ පුද්ගලයා හුදෙකලා වූ විට යි. මානසික රෝගි බවට පත්වීමට සූදානම් පුද්ගලයා හැමවිට ම උත්සාහ දරන්නේ හුදෙකලා වීමටයි. හුදෙකලා වීමට ඇති කැමැත්ත නිසා ම මෙවැනි අය භාවනා කිරීමට යොමු වෙනවා. ඒත් ඇත්ත වශයෙන් ම ඔහුට තියෙන රෝගයක්. ඔහුට ඒ ගැන දැනීමක් නැහැ. ඉතින් මෙවැන්නෙක් කිසි ම විටෙක නිවැරැදි ආකාරයට භාවනාවේ යෙදෙන්නේ නැහැ. ඔහු කරන්නේ ඔහුට ආවේනික කල්පනාවේ නිමග්න වී සිටීමක්. භාවනා ඉරියව්වෙන් සිටිමින් ම කල්ගත වෙද්දී ඔහුගේ රෝගය උත්සන්න වනවා. දැන් මේ පුද්ගලයා ගැන රාවයක් පැතිරෙනවා භාවනා කිරීම හේතුවෙන් සිහි විකල් වී තිබෙන බවට. ඒත් ඇත්තට ම මේ පුද්ගලයා තුළ එතෙක් පැවැති ආබාධයකුයි මෙසේ උත්සන්නව ඇත්තේ.

අනෙක් අතට සිහි විකල් වන්නේ භාවනාව නිසා නම් භාවනා නොකරන අයට මෙවැනි රෝගී තත්ත්වයක් ඇති නො විය යුතුයි. ඒත් අපි දන්නවා කිසි ආගම් බේදයකින් තොරව පුද්ගලයන් ගේ සිහි විකල් තත්ත්වය ඇතිවනවා කියා. බලන්න කතෝලික හා ඉස්ලාම් වැනි ආගම් අදහන අයට භාවනා උගන්වන්නේ නැහැ. ඒ ආගම්වලට භාවනාව අදාළ නැහැ. ඒත් ඒ ආගම්වලට අයත් අය, මානසික රෝගී බවට පත්වන්නේ නැත්ද?

මූලික කාරණාව තමා, අපේ රටේ මිනිසුන් අතර මත ප්‍රචලිත කර තියෙනවා භවනා කළා ම තමයි පිස්සු වැටෙන්නේ කියලා. තවත් දෙයක් තියෙනවා. කසින භාවනාව නම් කිසිම කෙනෙකුට උචිත නැහැ. මා එය කිසිම විටෙක නිර්දේශ කරන්නේත් නැහැ. මෙතැනදී වන්නේ වර්ණයක් දෙස බලාගෙන භාවනා කිරීමයි. ඒත් මේ විදියට භාවනා කළා ම අභ්‍යන්තර වශයෙන් සතිපට්ඨානයෙන් ලබා ගත හැකි දේ ලැබෙන්නේ නැහැ. චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා ආදී ලෙස යෝනිසෝමනසිකාරයේ යෙදෙන්නට බැහැ. ඒ කෙනා කරන්නේ කිසියම් වර්ණයක් අරමුණු කරගෙන භාවනා කිරීම පමණයි. අන්න එතැන දී මේ පුද්ගලයා තුළ කිසියම් මානසික වශයෙන් දුර්වලතාවයක් පැවතියා නම් එය ඉස්මතු වීමේ ඉඩකඩ ඇති වෙනවා. ඇත්තට ම අතීත කාලේ ආරණ්‍යවල කසින භාවනාව වැඩූ හාමුදුරුවරුන්ට මෙවැනි ප්‍රශ්න ඇති වී තිබෙනවා. මෙන්න මේ දේ භාවනාව ගැන වැරැදි මතයක් පැතිර යෑමට විශාල හේතුවක් වුණා.

‘භාවනා’ යන්නෙහි අරුත ‘වැඩීම’ යන්න යි. නැතහොත් යම්කිසි දෙයක් ගොඩනැඟීම. දැන් ආනාපාන සතියෙන් කරන්නේ සිහිය ගොඩනැගීම, වීරිය සහ නුවණ ගොඩනැගීම ආදිය. මෛත්‍රී භාවනාවෙන් කරන්නේ, මෙත් සිත ගොඩ නැගීම, අසුබ භාවනාවෙන් කෙරෙන්නේ, විරාගය ගොඩනැගීම. යථාභූත ඥානය ගොඩ නංවන්න පුළුවන් අනිත්‍ය භාවනාවෙන්. මේ අනුව චිත්ත සමාධියක් කරා පිවිස වැඩි කලක් ගත කළ හැකි ක්‍රම බුදුරජාණන් වහන්සේ පෙන්වා දී තිබෙනවා. ඉතින් ඇත්ත වශයෙන් ම මෙවැනි දේ වෙනත් ආගම්වල නැහැ.

බුදු දහමෙන් උපුටා ගත් යමක් මිස, ඒ අයට භාවනා

නැහැ. දැන් අපි දන්නවා මේ විදිහට බුදු දහමෙන් ක්‍රම උපුටාගෙන සමහර අය භාවනා කරනවා. ඒත් එවැනි අය භාවනාවේ යෙදෙන්නේ අවබෝධයකින් තොරව නිසා එසේ කිරීමෙන් සිහි විකල් වී යා හැකියි. මෙය භයානක තත්ත්වයක්. ඔබ හොඳින් වටහාගත යුතු කාරණාවක් මා කියන්නම්. මේ කාරණාව වටහා නො ගෙන නම් ඔබ කිසි විටෙක භාවනාවට යොමුවන්නට එපා. මනසක් ගොඩ නංවන්නට නම්, මනස පිළිබඳ විග්‍රහ ඉදිරිපත් කොට ඇති විද්‍යාවක් අවශ්‍යයි. සරල සාමාන්‍ය දෙයක් ගැන ඔබ හිතා බලන්න. කිසිවකුට මාවතක් සකසන්නට වුවමනා නම්, ඒ මාවත සැකසීමට අදාළ විද්‍යාව ඔහු උගත යුතුයි. ගොඩනැගිල්ලක් සෑදීමේදීත් ඊට අදාළ ශිල්පීය දැනුම ලබා සිටිය යුතුයි නේද? එසේ නම් මනසක් ගොඩ නංවන්නට නිකම් පුළුවන්ද? මනස දියුණු කළ හැකි ශිල්පීය ඥානය තිබෙන්නේ කොතැන ද? එය ඇත්තේ බුදු දහම තුළ පමණයි.

අනෙක් අතට පුද්ගලයන් දහසක් ගෙන බැලුවොත් එයින් දෙතුන් දෙනකුට මානසික ප්‍රශ්න තිබෙනවා වන්නට පුළුවන්. ඒත් එහෙමයි කියා අපට අනෙක් නවසිය අනූ අට දෙනා ම අත්හැර දමන්නට පුළුවන්ද?

දැන් මං අපේ භාවනා වැඩසටහන්වල දී භාවනා ක්‍රම උගන්වනවා. ඒවා මොනවා ද? මෛත්‍රී‍්‍ර භාවනාව; මෛත්‍රී චිත්තයෙන් නිතර ඉන්නැයි කියන එක. බුද්ධානුස්සතිය; බුදු ගුණ සිහි කරමින් ඉන්නැයි කියා කීම. ඊළඟට අනිත්‍ය යැයි කියන දේ සිතමින් සිටින්නට උපදෙස් දීම. ආනාපාන සතියේ දී සිත තැන්පත් කර ගැනීමට පෙළඹවීම.

ඉතින් ඔබට ම පෙනෙනවා ඇති මේ සියලු දේ භයානක නම්, යහපත් දේ මොනවා ද? මේවා නොසිතිය යුතු නම්, සිතිය යුත්තේ් මොනවා ගැන ද? එසේ නම් අප නිතරම කල්පනා කරන්නේ රූපවාහිනියෙන් පෙන්වන, රේඩියෝවකින් අසන දෙයක් ගැන. නැතිනම් පත්තරවලින් කියවන දේ ගැන.

ඒ කියන්නේ පුද්ගලයා නිතර ම අසහනයෙන්, රාගයෙන්, ද්වේශයෙන් හෝ මෝහයෙන් සිටිය යුතුය යන්නයි. ඇත්තටම මිනිස්සු මේ විදිහට මානසිකව පීඩා විඳිමින් තමයි හැමවිටම ඉන්නේ. ඒත් ඔවුන් පීඩා විඳිමින් ඉන්නා බව ඔවුන්ම දන්නේ නැහැ. මෙහි අනතුර පොදු ජනතාව දකින්නෙත් නැහැ. මෙය තමයි, බහුතර ජනතාවක් වෙලී සිටින අවිද්‍යාව.

අවිද්‍යා සහගත පුද්ගලයා මනස සුවපත් කිරීම ගැන කිසිවක් දන්නේ නැහැ. හැබැයි ඉස්සර වඩා දැන් සමාජයට යම් පමණකින් හෝ භාවනාව ගැන අවබෝධයක් තිබෙන බව පෙනෙනවා.

ඉස්සර නම් තරුණ දරුවෙක් භාවනා කළොතින් හැමෝම කලබල වුණා. හැමෝම හිතුවේ, මේ දරුවට මොකක් හරි ප්‍රශ්නයක් කියලා.

හැබැයි ඔබ අතර ම විදේශිකයෙක් එහෙම භාවනා කරනවා නම් අපේ අය ඒ ගැන ඉතා ඉහළින් කතා කරනවා. අපේ අයට ම තමයි, මෙතැනදීත් ගැරැහුම. මෙතැන දී එක දෙයක් අපට වැටහෙනවා. එනම් මේ අය භාවනාව වර්ණනා කරන්නේත්, ඒ වාගේ ම ඊට ගරහන්නේත් අවබෝධයෙන් නොවේ ය කියන කාරණාව යි.

ඇත්තට ම භාවනාවට යොමුවීමෙන් පුද්ගලයකුට විශාල සුවපත් භාවයක් ඇතිවෙනවා. සුවදායී මානසිකත්වයක් ගොඩනැගෙනවා. මෙය නිවැරැදිව උදා කර ගැනීමට නම් පොදුවේ ඒ ගැන පුළුල්ව සාකච්ඡා කළ යුතුයි.

භාවනාවක් පිළිබඳ උපදෙස් අප රහසේ තබාගතහොත්, ඒ කියන්නේ රහස් බණ කියන්නට ගියෝතින් එතැන අනතුරක් තිබෙනවා ම යි. දැන් රටපුරා තැන් තැන්වල පෞද්ගලිකව භාවනා උපදෙස් දෙනවා නේ, රහසිගතව. එහෙම දේ බුදු දහමේ නොමැති බව ඉතා පැහැදිලිව ඔබ වටහා ගත යුතුයි. අප භාග්‍යවතුන්වහන්සේ ගේ ධර්මය, විවෘත වීමෙන් ම යි බබළන්නේ. මේ බව උන්වහන්සේ පැහැදිලිව ම දේශනා කළා. වැසුණා ම එය බබළන්නේ නැත.

එසේ නම් කිසිවෙක් මෙය විවෘත නො කොට සඟවන්නේ නම්, එය කිසියම් සැකකටයුතු යමක්.

මෙය ඉතා බරපතල වන්නේ මේ උපදෙස් ගත් කෙනාට එය ප්‍රතික්ෂේප කිරීමේ හැකියාවක් පැවතීම යි. ඇයි ද කියනවා නම් මේ කතාබහ ඇතිවන්නේ දෙදෙනෙකු අතර පෞද්ගලිකව මිස, විවෘත පරිසරයක දී නො වන නිසයි.

භාවනාව සම්බන්ධව අද සමාජයේ ප්‍රකටව පවතින විවිධ මති මතාන්තර ගැන වාද විවාද පවත්වමින් සිටින්නට බොහෝ අය කැමැතියි. එහෙත්, ධර්මය යනු පහුරකි. එය උපයෝගී කරගෙන අප එතෙර විය යුතුයි. එයින් බැහැරව තමන්ගේ පාණ්ඩිත්‍යය අන් අයට ප්‍රදර්ශනය සඳහා විවිධ දෘෂ්ටි ගොඩනගාගෙන ඒවා තලු මරමින් සිටීම, කිසිසේත් උචිත නැත. බුදුරජාණන් වහන්සේ තම ධර්මය පහුරකට උපමා කර ඇත්තේ, එතෙරවීමට යන කාරණාව පදනම් කරගෙන ම යි.

අනෙක් අතට රහස් කමටහන් දෙන උදවිය පවසන්නේ, මිනිසුන් අතර සිටින රාග, ශ්‍රද්ධා, දේවේශ, මෝහ ආදී චාරිතානුකූලව උපදෙස් දීමයි මෙතැනදී සිදුවන්නේ කියා.

ඉතින් මේක නම් ප්‍රශ්නෙ, බුදුරජාණන් වහන්සේ පැහැදිලිව ම දේශනා කොට තිබෙනවා, ද්වේශය තිබෙන කෙනා මෛත්‍රිය වැඩිය යුතුයි කියා. ඉතින් කිසිවකුට දැනෙනවා නම් තමාට ද්වේශය නිතර ඇතිවන බව, ඒ පුද්ගලයා මෛත්‍රී භාවනාව අත්හදා බැලිය යතුයි. මමත්වය වැඩිනම් අනිත්‍ය දකින්නට සිත මෙහෙයවිය යුතුයි.

ඉතින් මේ උපදෙස් කිසිවෙක් අද පිළිගන්නවා නම්, මේ ධර්මය අදත් සන්දිට්ඨික යි. (සන්දිට්ඨිකය යනු, මේ ජීවිතයේ දී ම අවබෝධ කළ යුතුය යන්න යි)

මේ ධර්මය හැමදාමත් ස්වක්ඛාතයි. (මැනවින් දෙසන ලද) අකාලික යි (ඕනෑ ම කාලයක දී අවබෝධ කළ හැක)

බුද්ධ කාලීන ව හෝ වත්මනේ දී ආදී ලෙස ධර්මයේ ස්වභාවය වෙනස් නො වේ. අප ඉතා හොඳින් මේ කාරණා වටහා ගත යුතුයි. මෙයින් පසුව තමයි භාවනාව හුරුකළ යුතු. මේ අනුව බලන කල අප කළ යුතු බුද්ධ දේශනා ප්‍රකට කරවීම ම යි.

අනෙක භාවනාවක් දියුණු කරනවාය යන්නේ් අදහස තමන් ම තමන්ගේ් දුර්වලතා මෙන් ම කුසලතා ද හඳුනාගෙන, තමා තමාව ම පිළිසරණ කර ගැනීම යි. ධර්මය තුළ පිහිටා තමා ගේ දුර්වලතා මැඩ ගැනීමට උත්සාහ දැරීම තමයි, මෙතන දී සිදු වන්නේ. මෙය කිසිසේත් ම, අඳුරේ අතපත ගාමින් යන ගමනක් නො වේ. මේ සඳහා ඉතා වටිනා මාර්ගෝපදේශ සියල්ල ධර්මයේ ඇතුළත්.

දැන් අපේ භාවනා වැඩසටහන්වලට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ඇදී ඒමට එක ම හේතුව, ධර්මය ප්‍රකට වීම යි. එසේ නැතිව, ධර්මය යනු මහමෙවුනා අසපු සංචිතයන්හි පෞද්ගලික උරුමයක් නො වේ. එය විවෘත යමක්, එය අප ජනතාවට විවෘත කර දුන්නා, එපමණයි.

කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
සාකච්ඡා කළේ -
තනුජා ධර්මපාල

(සදහම් සිත්මල් යාය- 2 කෘතියෙනි)

ගෞතම බුදු සසුන දිගු කල් පැවැතීමට නම්...



භාග්‍යවතුන් වහන්සේ වදාළා, මේ කොටස් නවයෙන් යුත් ශාස්තෘ ශාසනය බොහෝ කලක් පැවතීමට නම් එය අවබෝධ කරන පිරිස් සිටිය යුතු බව. එසේ එය අවබෝධ කරන පිරිස් නො සිටියහොත්, ඒ ධර්මය සමාජයෙන් ඈත් වනවා. ධර්ම මාර්ගයට බාධක කරුණු සමාජය තුළ බලවත්වීමෙන්, ඒ සමාජය තුළ අර්බුද හටගන්නවා. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයන් තුළ හටගන්නා වූ ධර්ම අවබෝධයට බාධක වූ එම අර්බුද වැළැක්වීමට උන්වහන්සේ විසින් පනවන ලද ශික්ෂා පදවලටයි ‘විනය’ කියලා කියන්නේ.බුද්ධ ශාසනය යනු බුදුරජාණන් වහන්සේ නමක් විසින් ලෝකයට දායාද කරදෙන අතිශයින් ම පාරිශුද්ධ වූ දෙයක්. බුද්ධ ශාසනයට විවිධ නම් පාවිච්චි කරනවා. බ්‍රහ්මචරිය, සද්ධර්මය, ශාස්තෘ ශාසනය ආදී වශයෙන් හඳුන්වනවා. මෙවැනි නොයෙකුත් නම් වලින් බුදුරජාණන් වහන්සේ විසින් ශාසනය විස්තර කරනවා. බුද්ධ ශාසනය ‘නවාංග ශාස්තෘ ශාසනය’ යන නමිනුත් හඳුන්වනවා. එය අංග නවයකින් යුක්ත නිසා. අද අපෙන් කෙනෙක් ඇසුවොත් නවාංග ශාස්තෘ ශාසනය කුමක්ද කියලා, එයට පිළිතුරක් දිය හැකි වන්නේ ඉතා ටික දෙනෙකුට යි. ඒ නවාංග ශාස්තෘ ශාසනය අපි ඉගෙනගත යුතුයි.

සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල යන නවය යි ඒ. මේ නවය පිළිබඳ සෑම බෞද්ධයකුටම දැනුමක් තිබිය යුතු යි. ඒ දැනුම ඇති අයට බුද්ධ ශාසනයේ යහපත උදෙසා බොහෝ දේ කළ හැකියි.

ඔබ මෙසේ දරාගන්න. නවාංග ශාස්තෘ ශාසනයේ

සුත්ත- යනු බුදුරජාණන් වහන්සේ නමක් විසින් කරනු ලබන දේශනා වලට කියන නමක්. එය අපි සූත්‍ර යනුවෙන් සිංහලෙන් හඳුන්වනවා. කරණීය මෙත්ත සූත්‍රය, ධම්මචක්ක සූත්‍රය, රතන සූත්‍රය, ආදී දේශනා වලට ‘දේශනාව‘ යන අර්ථය ඇතිව තමයි, සූත්‍රය යන නම භාවිතා වන්නේ. සූත්‍ර යනු බුද්ධ දේශනා යි.

ගෙය්‍ය- යනුවෙන් හඳුන්වන්නේ සමහර සූත්‍ර දේශනා වලදී, ඒ දේශනාව දේශනා කරන අතරතුර දී හෝ දේශනාව අවසානයේදී ගාථා වලින් යම් යම් දහම් කරුණු සම්පිණ්ඩනය කර ඉදිරිපත් කළ ඒවාටයි. මේ ගාථාවලින් කරන ලද දේශනා තමයි භාග්‍යවතුන්වහන්සේ ‘ගෙය්‍ය’ නමින් වදාරා තිබෙන්නේ.

වෙය්‍යාකරණ- වෙය්‍යාකරණ කියා කියන්නේ යම් කිසි දහම් කරුණක් මාතෘකා කරගෙන, ඒ දහම් කරුණ සවිස්තරව ඉදිරිපත් කිරීම යි. අපි දන්නවා ධම්මචක්ක පවත්තන සූත්‍රයේ වෙය්‍යාකරණ ඒ සූත්‍රය අවසානයේ තිබෙන බව. මේ වෙය්‍යාකරණ වදාරන කල්හි ආයුෂ්මත් කොණ්ඩඤ්ඤයන් දහම් ඇස පහළ කර ගත්තා යනුවෙන් දැක්වෙනවා.

අනන්ත ලක්ඛණ සූත්‍රයේ සඳහන් වනවා. භාග්‍යවතුන් වහන්සේ ෂසින් මේ වෙය්‍යාකරණ වදාරන කල්හි පස්වග භික්ෂූන්ගේ් සිත් උපාදාන රහිතව සියලු ආශ්‍රවයන්ගෙන් නිදහස් වුණා බව. දම්සක් පැවැතුම් සූත්‍රයේ විස්තර වන්නේ, චතුරාර්ය සත්‍ය යි. අනන්ත ලක්ඛණ සූත්‍රයේදීත් චතුරාර්ය සත්‍ය විස්තර වූවත්, එහිදී දුක්ඛාර්ය සත්‍යයට අදාළ පංච උපාදානස්කන්ධයෙහි අනාත්ම ලක්ෂණය ගැඹුරින් විස්තර වනවා. මේවා තමයි වෙය්‍යාකරණ කියලා කියන්නේ. එනම් දහම් පදයක් විස්තර ලෙස දේශනා කිරීමයි.

ගාථා- ගාථා වල විශේෂත්වය අපි මැනවින් හඳුනාගත යුතුයි. ඇතැම් අවස්ථාවලදී භාග්‍යවතුන් වහන්සේ යම් සිදුවීමක් නිමිති කරගෙන එක් ගාථාවක් දේශනා කර නිශ්ශබ්ද වනවා. එවිට ඒ දේශනාව එතනින් සමාප්තයි. එයට කියනවා ‘ගාථා’ කියලා.

උදාන- සමහර අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේ යම් යම් ප්‍රසාදජනක හෝ සංවේග ජනක කරුණු නිමිතිකරගෙන උන්වහන්සේගේ් හදවතෙහි පැන නගින හැඟීම් දහම් කරුණක් වශයෙන් මුවින් පිටකරනවා. විශ්මයජනක කරුණකදී හෝ ශෝකජනක කරුණකදී ‘බුදු අම්මෝ’ ‘අනේ අපොයි’ ආදී වදන් අපේ මුවින් පිට වනවා. ඒ අපේ කල්පනාවේ සීමාව තුළ යි. නමුත් බුදු කෙනෙකුගේ හදවතෙහි පැන නැගුණු දේ පිට වන්නේ දහම් පදයකිනු යි. ධර්ම කරුණුයි. ඒවා තමයි, ‘උදාන’ කියා කියන්නේ. උදාන, ශාස්තෘ ශාසනයට අයිති කොටසක්.

ඉතිවුත්තක- ඉතිවුත්තක කියා කියන්නේ, බුදුරජාණන් වහන්සේගේ දේශනා වලින් අදහස් කරන ලද දේ මෙසේ යැයි තහවුරු කොට දරා ගැනීම පිණිස සිහියේ රඳවා ගත යුතු විශේෂ දහම් කරුණු කොටසකු යි. ඒවා තමයි ඉතිවුත්තක. භාග්‍යවතුන් වහන්සේගේ දවසේ මේ ඉතිවුත්තක කුජ්ජුත්තරා උපාසිකාව විසින් දරාගෙන මතක තබාගෙන තිබෙනවා.

ජාතක- ජාතක යනුවෙන් හඳුන්වන්නේ භාග්‍යවතුන් වහන්සේගේ අතීත ජීවන තොරතුරු ඇතුළත් කතා යි. එම තොරතුරු සූත්‍ර දේශනාවල; බුද්ධ දේශනාවල දහම් කරුණු හා සම්මිශ්‍රව දේශනා කොට තිබෙනවා.

අබ්භූත ධම්ම- බුදු කෙනකුගේ ජීවිතය තුළ සහ ලෝකය තුළ තිබෙන ආශ්චර්ය අද්භූත දේ බුදුරජාණන් වහන්සේ නමක් විසින් හෙළිදරව් කරනවා. ශාස්තෘ ශාසනයට අයත් ‘අද්භූත ධම්ම’ යනුවෙන් සඳහන් වන්නේ, ඒවා යි.

වේදැල්ල- වේදැල්ල යනු, ප්‍රශ්නෝත්තර වශයෙන්; සාකච්ඡාවෙන් සිදු වන දහම් කරුණු විමසීමක්. මෙයත්, නවාංග ශාස්තෘ ශාසනයට අයිති එකක්.

භාග්‍යවතුන් වහන්සේ වදාළා, මේ කොටස් නවයෙන් යුත් ශාස්තෘ ශාසනය බොහෝ කලක් පැවතීමට නම් එය අවබෝධ කරන පිරිස් සිටිය යුතු බව. එසේ එය අවබෝධ කරන පිරිස් නො සිටියහොත්, ඒ ධර්මය සමාජයෙන් ඈත් වනවා. ධර්ම මාර්ගයට බාධක කරුණු සමාජය තුළ බලවත්වීමෙන්, ඒ සමාජය තුළ අර්බුද හටගන්නවා. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයන් තුළ හටගන්නා වූ ධර්ම අවබෝධයට බාධක වූ එම අර්බුද වැළැක්වීමට උන්වහන්සේ විසින් පනවන ලද ශික්ෂා පදවලටයි ‘විනය’ කියලා කියන්නේ.

උන්වහන්සේ වදාළා බුද්ධ ශාසනය බොහෝ කලක් පැවැතීමට විනයත් අවශ්‍ය යි කියලා. විනය යනු, ශික්ෂා පද යි.

ඒ වගේම උන්වහන්සේ තම ශ්‍රාවකයන්ට ප්‍රාතිමෝක්ෂ අනුදැන වදාළා. එනම් මසකට දෙවරක් ශ්‍රාවකයන් විසින් ආරක්ෂා කරන්නා වූ විනය ශික්ෂාපද පිළිබඳ විනය උදෙසීමක් කළ යුතු බවයි. එය ‘පාමොක් උදෙසීම’ නමින් හැඳින්වෙනවා. ශික්ෂා පදත්, පාමොක් උදෙසීමත්; ශාසනය දිගු කල් පැවැතීමට උපකාර වනවා.

එනිසා, ඔබ හොඳට මතක තබාගත යුතුයි, බුද්ධ ශාසනයක් වෙනත් කිසිවකුට අතුරුදන් කළ නොහැකි බව. බුදු සසුන අතුරුදන් කරන්න පුළුවන් වන්නේ, ශ්‍රාවක පිරිසටම යි. භාග්‍යවතුන් වහන්සේ වදාළා, මේ ශාසනය වෙනත් හේතු නිසා අතුරුදන් වන්නේ නැති බව. පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන භෞතික පදාර්ථවල වෙනස්කම් නිසා මේ ශාසනය අතුරුදන් වන්නේ නෑ. විවිධ පුද්ගලයන් ශාසනය තුළම ඉඳලා ශාසනය අතුරුදන් කරන බව යි, බුදුරදුන් දේශනා කළේ. මේ ශාසනයට ඇතුළත් වන අය නිසා ම තමයි, ශාසනය අතුරුදන් වන්නේ. එසේ නම් මේ ශාසනය අතුරුදන් නොවීමට නම් කළ යුතු වන්නේ, නවාංග ශාස්තෘ ශාසනය මනා කොට ඉගෙනගෙන, ශික්ෂා පද මැනවින් ආරක්ෂා කරගෙන මේ කරුණු නිරන්තරයෙන් පාරිශුද්ධ ලෙස පැවැත්වීමයි. එනිසා ගිහි පින්වතුන් විසින් නවාංග ශාස්තෘ ශාසනය පුරුදු කිරීමත්, ශික්ෂා පද මැනවින් රැකීමත් කළ යුතු යි. පැවිදි ශ්‍රාවකයන් විසින් නවාංග ශාස්තෘ ශාසනය පුරුදු කිරීමත්, ශික්ෂාපද ආරක්ෂා කිරීමත්, දින දහ හතරකට වතාවක් හෝ මසකට දෙවරක් ප්‍රාතිමෝක්ෂය උදෙසීමත් කළ යුතු යි.

මේ ආකාරයට බුද්ධ ශාසනය තුළ සිටින පැවිදි - ගිහි දෙපාර්ශ්වයම මේ කාරණා සම්පූර්ණ කළහොත් ගෞතම බුද්ධ ශාසනය බොහෝ කල් පවතිනු ඇත.

කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
සටහන - නයනා නිල්මිණි

බුදු සරණ අන්තර්ජාල කලාපයේ පළ වූ ලිපියකි.

මිහිඳු මාහිමිගෙන් යොවුන් දූ පුතුන්ට...!




කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි

මා අදරැති පින්වත් පුතණුවෙනි, දියණියෙනි,

මා සිතන්නේ ඔබට මා ගැන අමතක නැතිව ඇති. පළමුවෙන් ඔබේ සුන්දර දිවයිනට මා පැමිණෙද්දී මෙහි එන්නට අහස්‌ යානා හෝ මොටෝ රිය හෝ නෞකා හෝ තිබුණේ නෑ. සැබැවින්ම අපට ඇවැසි වූයේත් නෑ. සමණමුළුවෙක්‌ වශයෙනුයි අප පැමිණියේ. උදේනි නුවර විදිසායෙහි පිහිටි මහ සෑ මළුවෙන් අහසට නැඟුණු අපි අම්බස්‌ථල සෑ අසල ඇති ගල් කුලට පැමිණිවිට මා සිතටත් සිසිලසක්‌ දැනුණා. එදා ඔබ පරපුරේ රජුවැ සිටි දෙවන පෑතිස්‌ නිරිඳුන් මට මුණ ගැසුණේ ඔවුන් නැකැත් කෙළිය සමරන්නට දඩ කෙළියෙහි ගොස්‌ සිටියදීය. දෙවියන් හා කතා බස්‌ කොට මුවකුගේ වෙසින් දෙව්පුතකු එවන ලද්දේ ද මා විසිනි. "තිස්‌ස" කියා මා ඔබේ රජු අමතද්දී හේ තැති ගත්තා. නමුත් "ධර්මරාජ වූ ලෝකනාථයන්ගේ සව් වූ සමණ පුතුන් වනාහී අපි වෙමු"යි කී කල්හි හේ තුටු වුණා. අඹ පැනය ඇසූ වේලෙහි ඔහු පිළිවදන් දුන් අයුරු සැබැවින්ම අසිරිමත්. ඔබේ රජ පරපුරේ සිටි නයුවන් දැක්‌වූ විසාරද ප්‍රඥ පාටවය ගැන මා බෙහෙවින්ම තුටු වුණා.

ඇත්පිය උපමාවෙන් යුතු බුදු වදන් ඔහුට පැවසූ වේලෙහි දෙවන පෑතිස්‌ නිරිඳුන් පමණක්‌ නොවේ, මැති ඇමැත්තන් ද බුදු වජන්හි අරුත් වටහාගෙන තිසරණ ගතවැ සැදැහැ සිත්හි මුල් බැස ගත් අයුරු සිතන විට මට මහා ආනන්දයක්‌ දැනේ. ලෝකනාථයන් වහන්සේගේ අසිරිමත් සිරි සදහම් එකිනෙක පෙන්වා දෙද්දී එදා ඔබ මුතුන්මිත්තන් විස්‌මිත සොම්නසකින් යුතුව එය ඇසූ අයුරු තවමත් සිහිවේ. ඇතොවුරෙහි සිටි අනුලාවන් ඇතුළු ඒ කෝමළ ස්‌ත්‍රීන් සැණෙකින් මගඵල ලැබූ අයුරු තවමත් සිහිවේ. මහජන මුළුවට දහම් දෙසනු පිණිස සකස්‌ කැරුණේ ඇත්හල යි. ඔවුනට දිව්‍ය විමාන ගැන විමානවත්ථුවෙන් බණ කියද්දී, දුක්‌ ත ප්‍රේත ලොව ගැන පේතවත්ථුවෙන් බණ කියද්දීත්, ආර්ය සත්‍යය නොදැන යන සසර ගමන ගැන ඔවුන් බියෙන් සලිතව ගියා. ඉක්‌බිති සත්‍ය සංයුක්‌තය නම් බුදුවජන් පවසද්දී ඔවුන් මගඵල ලැබුවේ දස දහස්‌ ගණනිනුයි.

ම පියාණන් වූ දම්සෝ නිරිඳාණන් ඔබේ සොඳුරු දිවයිනට මහත් සේ පෙම් බැන්ඳා. මා නැගෙණියන් වූ සඟමිත් තෙරණින් දකුණු මහබෝ ශාඛා වැඩමවද්දී ම පියාණන් මහත් සේ සතුටු වුණා. හේ දඹදිවෙන් දකුණු පස පිහිටි මේ රම්‍ය දිවයිනෙහි අප ශාස්‌තෘ වූ ගොයුම්ගොත් බුදුරජුන්ගේ සසුන පිහිටන වග ඇසූ තැන් පටන් මේ රම්‍ය දිවයිනට මහත් සේ ඇළුම් කළා. එදා දෙව් නා බඹුන්ගේ අපමණ පුද පෙළහරින් දඹකොළපටුනට මහබෝ ශාඛා වැඩි වේලෙහි දෙවන පෑතිස්‌ නිරිඳුන් අපමණ සොම්නසින් පිළිගත්තා. මහබෝ ශාඛාව මේ හෙළදිවින් පුදද්දී ධරතීමාතා තුන් යලක්‌ සළිත වෙමින් සාදු හඬ දුන්නා. දඹකොළ පටුනෙහි පටන් අනුරපුර බෝ මැඬ පිහිටන මළුව දක්‌වා රඹ තුරින් හා පුන් කළසින් මඟ දෙපස සරහා සුදු වැලි අතුරා මල් වැසි වස්‌සමින් වෙසඟ පුන් පොහෝ දිනයෙහි ඒ මහබෝ ශාඛා මළුවෙහි පිහිටැවූ කල්හි ධරතී මාතා තුන් යලක්‌ සළිත වෙමින් සාදු හඬ දුන්නා. ම පියාණන්ගේ අනුසස්‌ පරිදි දඹදිවෙන් මෙහි පිටත් වෙන්නට පළමු මහබෝ ශාඛාව දඹදිවින් අභිෂේක ලැබුවා. යළිදු අනුරපුර මළුවෙහි පිහිටි කල්හි ඔබේ දිවයිනෙහි රාජාභිෂේකය පළමුව කරන ලද්දේ ඒ බෝ ශාඛාවටයි. දඹදිව රාජාභිෂේකය කරනුයේ යම් අයුරින් ද, ඒ අයුරින් මැ අනවතප් විලෙන් ගෙනා පැන් මහාබෝ ශාඛාවට ඉසින ලද්දේ ක්‌ෂත්‍රීය කන්‍යාවන් විසිනි. ඒ වෙසක්‌ පොහෝ දිනයෙහි දෙවන පෑතිස්‌ නිරිඳුන් රාජාභරණ හා කිරීටය බෝ ශාඛාවට පළඳවා අබිසෙස්‌ කොට පූජා පැවැත්වූ දින පටන් ඒ බෝ ශාඛාව මේ දිවයිනෙහි බෝ රජු බවට පත් වුණා. එදා දෙවන පෑතිස්‌ තෙමේ දොරටුපාල වෙස්‌ ගෙන පූජාව නිම වෙන තෙක්‌ බෝ ශාඛාව මුර කළ අයුරු මට තවමත් සිහිවේ. ඉක්‌බිති කිරීටයත්, රාජාභරණත් පැළැඳගත් දෙවන පෑතිස්‌ නිරිඳුන් මහත් අභිමානයෙන් යුතුව බෝධියට ලක්‌දිව පූජා කළා. එකල්හි ද ධරතී මාතා සලිත වෙමින් සාදු හඬ දුන්නා.

මා ප්‍රිය දරුවෙනි, යොවුන් අරිට්‌ඨයන් ප්‍රමුඛ ඔබ පරපුරෙහි යොවුන් දරුවන් ගෞතම බුදු සසුනෙහි පැවිදි වූයේ සිය දහස්‌ ගණනිනුයි. නිකෙලෙස්‌ හද මඬලක්‌ දරා ගෞතම බුදුන්ගේ ළයෙහි උපන් අරහත් ශ්‍රාවක දරුවන් වන්නට තරම් අසිරිමත් පුණ්‍ය මහිමයකින් හෙබි ඔවුන් ථූපාරාම සෑ මළුවෙහි විනය සංගායනා කරද්දී ධරතීමාතා යළිත් වරක්‌ සලිතව තුන් යලක්‌ සාදු හඬ දුන්නා. මා ඔබට දහම් දෙසුවේ දීප භාෂාවෙනුයි. මාගධී හෙවත් පාළි භාෂාවෙන් මා දරා සිටි තෙවලා බුදු වජන් ඒ අයුරින්ම ඔබ පරපුරෙහි යොවුන් සමණ දරුවන්ට වනපොත් කරවද්දී ඔවුන් පිපාසිත මුවපොව්වන් සිහිල් පැන් වළඳන ලෙසින් මහත් ආශාවෙන් තම ළයෙහි දරා ගත්තා. එහි අරුත් හෙළ බසින් පවසද්දී ඒවා ද මහත් බැතියෙන් තම ළයෙහි දරා ගත්තා. ගොයුම් සම්බුදු සසුන දෙවි මිනිසුන්ගේ හිත සුව උදෙසා සුරකිනු පිණිස දිවි පරදුවට තබා ඔවුන් වෙහෙසුණා. එකල මා ඔවුන්ට ඉගැන්නූයේ බුදු බව පැතීමේ මහායානය නොවේ. බෝසත් වන්දනාව ද නොවේ. ගෞතම බුදුන්ගේ නිමල දහමයි. එහි කියෑවෙන්නේ ශ්‍රාවකයකුවැ දහමේ හැසිර සුගතියෙහි ඉපදීමටයි. එසේ සුගති රැකවරණය ලබමින් භව සයුරින් එතෙරවීමටයි. නිමල බුදුදහම එයයි දරුවෙනි.

මා ප්‍රියාදර දූ පුතුනි, එකල ඔබ පරපුරෙහි යොවුන් දරුවන් දැක්‌වූ කුසලතාව නම් දඹදිවෙහි සිටි මහා පින්වතුන්ගේ කුසලතාවට කිසිසේත් දෙවැනි නොවුණි. මා පිරිනිවන් පානා තෙක්‌ම මේ දිවයිනේ රැඳුණේ එනිසාය. ම පියාණන් වූ දම්සෝ මහ නිරිඳුන් පවා මෙහි ඉපිද කුදුතිස්‌ මහතෙරුන් නමින් සසුන බැබලවූයේ එනිසාය. අකුසල් දරුවැ කුසල් මතුවැ ගොස්‌ රජ නිරිඳුන් ප්‍රමුඛ කොට මැති ඇමැත්තන් ප්‍රමුඛකොට සකල ජනයා දහමෙහි හැසිරුණු කල්හි වෛර සිත් බැහැරකොට මෙත් සිතින් බැබලුණ කල්හී මේ රම්‍ය වූ දිවයින සකල සම්පතින් පිරී ඉතිරී ගියා. බත බුලතින්, කිරියෙන් පැණියෙන් සරු වුණා. පෙරදිග ධාන්‍යාගාරය වුණා. ඉන්දීය සයුරෙහි මුතු ඇටය වුණා. දහම් දිවයින වුණා. ගෞතම බුදුරජුන්ගේ විදුරසුන් මහ බෝ පිහිටි දඹදිව තලයටත් වඩා මේ රම්‍ය දිවයින පූජනීය වුණා.

මා ප්‍රිය දරුවෙනි, එකල දඹදිව දකුණු පෙදෙසෙහි විසූ චෝල රජවරුන් මේ කුඩා දිවයිනෙහි පිරී ඉතිරී ගිය රන්, රිදී, මුතු, මැණික්‌ කෙරෙහි ලොල් බැඳ මේ දිවයිනට අරක්‌ ගත්තේ පස්‌ පියුමෙන් සුසැදි විලක්‌ ඩැහැ ගන්නා දානව රකුසන් ලෙසිනුයි. එහෙත් ඔවුනට පවා බුදුරජුන්ගේ ශ්‍රාවකයන්වීම විනා වෙන කිසිවක්‌ කරගත නොහැකි වුණා. නමුත් මා විසින් මේ දිවයිනෙහි ඔබට දහම් දෙසුවේ, ඔබේ පරපුරෙහි දරුවන් සසුන්ගත කෙරුවේ හෙලදිව්වාසීන් විසින් බුදු සසුන සුරැක පතළ කැරවීම පිණිස ම ය. චෝලයන්ට ඇවැසි නම් ඔවුන්ට ද මේ දිවයිනෙන් සසුන් පිළිවෙත ගෙන ගොස්‌ චෝල දේශය බැබළවිය හැකිය. සැබැවින්ම දරුවෙනි, එය වූයේය. එකල දඹදිව දකුණු පෙදෙස රහතුන්ගෙන් බැබලුණේ. කාංචිපුරය ගෞතම බුදුරජුන්ගේ නිමල දහමේ තෝතැන්න විය.

පින්වත් දරුවෙනි, ලෝකනාථ වූ අප ශාස්‌තෘන් වහන්සේගේ ධර්මය රැකගන්නට අසීරු වූයේ "සියලු දුකින් නිදහස්‌වීම පිණිස නිවන් සාක්‌ෂාත් කිරීම පිණිස මේ සිවුරු මට ලබාදී මා පැවිදි කරන්නැ"යි කියා ආචාර්ය පරපුරෙන් මහණකම ලබාගත් පැවිද්දන් නිසා ම ය. ඔවුන්ගෙන් වෙන්නට තිබෙන අතවර දුටු මහාකස්‌සප මහතෙරුන් පළමුවෙනි සංගායනාව කොට තෙවලා බුදු වදන මැනැවින් පිහිටැවූ සේක. එහෙත් දරුවෙනි, සියවසක්‌ යන්නට පළමුව නිවන් මඟට නිසි, විනයට අවිනය හෙළන්නට විලිබිය නැතිව බැසැගත්තෝ ද අන් කිසිවෙක්‌ නොව පැවිද්දෝ ම ය. දෙවන ධර්ම සංගායනාව කොට උතුම් බුදු වජන් බේරා ගන්නට මහා තෙරවරුන් සමත් වුණා.

අහෝෘ පින්වත් දරුවෙනි, ගෞතම සසුනෙහි පැවිදි වූ ශ්‍රමණයන් කොටසේ කීපයකට බෙදිය හැකිය. ඔවුන්ගෙන් එක්‌ ශ්‍රමණ කොටසක්‌ උතුම් නිවන් මඟෙහි හැසිර ආර්ය සත්‍යය ඉස්‌මතු කොට බුදු සසුන බැබලෙව්වා. තව ශ්‍රමණ කොටසක්‌ එයින් යෑපෙමින් ජීවත් වුණා. තවත් ශ්‍රමණ කොටසක්‌ එයින් යෑපෙමිනුත් ඒ සම්බුදු වදන් ලඝූ කොට තම තම මතිමතාන්තරයන් ගරු කොට බුදු වදන කෙලෙසන්නට පටන් ගත්තා. තවත් ශ්‍රමණ කොටසක්‌ ඒ බුදු වදන් ඇසුරෙන් මගඵල ලබනා මාවතෙහි සැක උපදවන කරුණු මතුකරමින් සසුන් මඟ විපරීත කළා. එවිට බුදු සසුන බබලවන මහතෙරපාණන් වහන්සේලා වහා පෙරට වැඩ ඒ විපරීත මත බැහැරකොට ගෞතම බුදු සසුනෙහි ශ්‍රාවකයන් වන්නට ඇති ඉඩකඩ යළි පිහිටුවමින් තුන්වෙනි ධර්ම සංගායනාව කළා. එයට මුල් වූයේ මා ආචාර්යපාද වූ මොග්ගලීපුත්තතිස්‌ස මහතෙරපාණන් හා ම පියාණන් ය.

දරුවෙනි, දක්‌ ණාපථයෙහි උදේනි නුවර මා යුවරාජව සිටිද්දී නිතර ඇසුරු කරන ලද්දේ ෙච්තියගිරියෙහි වැඩ සිටි උතුම් සඟරුවනයි. රජකම කෙරෙහි මා සිත්හි ඇති ඇල්ම ටිකෙන් ටික දුරු වුණා. සසරෙහි බිය දැනුණා. සුළු කලක්‌ රජ කොට බොහෝ කලක්‌ අපා දුක්‌ විඳි රජවරුන් ගැන මා ඇසූ නිසාම සිත බැඳී ගියේ සිහසුනට නොව සසුනටයි. "පුත, තෙපි සසුන් මඟෙහි පහන්වැ ගියහු ද? ලෝකනාථයන් වහන්සේගේ සසුනෙහි පිළිවෙත් පුරා මගඵල පසක්‌ කරන්නට ද තෙපිත් රිසියෑහු ද?"කියා ම පියාණන් පැළලුප් නුවරට මා කැඳවා විමසූ වේලෙහි නිම්හිම් නැති ආනන්දයක්‌ ම සිතෙහි පැන නැංගා. පියකරු ළඳුන් පිරිවරා මදිරා පානයෙහි ගිජුවැ කාමාසක්‌තව ගෙවන ඒ රාජකීය ජීවිතයට වඩා තුන් සිවුර ගත දරා පාත්‍රය ද රැගෙන පිඬුසිඟා හැසිර රුක්‌ සෙවණක හිඳ බවුන් වඩා ඒ නිවන් මඟ පසක්‌ කරන්නේ කවදාදෝයි සිතමින් සිටි මා හට මෙය කණෙහිලු මීයක්‌ බඳු විය. මා සැණෙකින් ම පියාණන්ගේ පා අබියස වැඳ වැටුණා. "භවත් මහරජාණෙනි, සැබැවින්ම ඒ මට රිසි යෑ. ලෝකනාථයන් වහන්සේගේ අමාදහම් සිසිලස ලබා සැනසෙන්නට ඇත්නම් එයින් ලබනා සැපයෙන් සොලොස්‌ කලාවෙන් එකකට ද මේ රජ සැප නොවටින බව මම දනිමි මහරජාණෙනි." එවිට ම පියාණන් කඳුළු වෑහෙන නෙතින් මා වැළඳගෙන "අදරැති පුත, සැබවින්ම තොප ද අසිරිමත් යෑෘ රන් බඳුනෙක්‌ හි සිංහ තෙලක්‌ බඳු තොප විසින් අසිරිමත් බුදුවජන් ලයෙහි රුවාගෙන අමා නිවන් පසක්‌ කිරීම මැනැවි. දෙවි මිනිසුන්ගේ හිත සුව පිණිස හැසිරීම මැනැවි."

මා ප්‍රිය දරුවෙනි, එකල්හි පැළලුප් නුවර අශෝකාරාමයෙහි දී සසුන් බිමට වන් මා තුන් වසරක්‌ තුළ මුළු තෙවලා බුදුවජන් ධරන්නට සමත් වුණා. එහි නිධාන කතාවන් ද ධරන්නට සමත් වුණා. මා ඔබ දිවයිනට වැඩමැ වූයේ ඒ නිමල බුදු දහම සමගිනි. මා ඇති කළ සඟ පරපුර උතුම් ගෞතම සසුනෙහි ශ්‍රාවක දරුවන් වී සසුන් පිළිවෙත සරු කරන්නට වෙහෙසෙද්දී තුන් වෙනි සංගායානාවෙන් පළවාහරින ලද සසුන් වෙස්‌ ගත් ශ්‍රමණයින් විසින් මහත් විපතක්‌ කරන ලදී. දුර දිග බැලීමෙහි කුසලතා රහිත වූ ඔවුන් සතර අගතියෙන් යුතුව පිඹුරුපත් සකසන ලද්දේ නිර්මල සඟරුවන බැහැර කිරීමටය. ඒ වෙනුවෙන් ඔවුන් ලෝකනාථයන් වහන්සේ තහනම් කොට වදාළ දෙය වූ පෙළ දහම සංස්‌කෘත භාෂාවට නගන ලදී. තම තමන්ට රිසි පරිද්දෙන් බුදු බව පැතීමෙහි කතා බහන ලදී. මගඵල පසක්‌ කිරීම හීනයාන යෑයි දරා බෝසත් වන්දනාව පෙරට ගෙන බුදුබව පැතීමට පොළඹවන ලදී. ඔවුන්ගේ ව්‍යාජ බෝසතුන්ගේ නම් ගම් දහස්‌ ගණනකිනිදු අවසන් කළ නොහැකිය.

වේද භාෂාවෙන් හෙවත් සංස්‌කෘත භාෂාවෙන් තිබුණේ බමුණන්ගේ වේදය පමණි. ප්‍රාමාණික ග්‍රන්ථ වශයෙන් එය පිළිගත් ඔවුන් අන් දහමක්‌ තම දහමට අභියෝගයක්‌ වෙතැයි නොසිතන ලද්දේ සංස්‌කෘතයෙන් තිබුණේ වේදය පමණක්‌ නිසාවෙනි. එහෙත් සසුනෙන් නෙරපා දමන ලද ව්‍යාජ පැවිද්දන් බෝසත් වන්දනාව පෙරටු කරගත් සංස්‌කෘතයට හරවන ලද දහමට බමුණන් බිය විය. ඉක්‌බිති බමුණන් විසින් ඒ සංස්‌කෘතයෙන් තිබුණු දහම කියවා එයට එරෙහිව වාද විවාද නගන්නට පටන් ගත්හ. එවිට නාලන්දා වැනි මහා සරසවි බිහිකොට මහායානිකයන් කරන ලද්දේ බමුණු දහමට එරෙහිව තම අධ්‍යයන විෂය පුළුල් කිරීමයි. ගෞතම බුදු වදන් පසෙකලා වේද වේදාන්තයන් හා සම තැන් ගැනීමට පමණක්‌ නොව එය යට කොට තම මතය මතු කරන්නටත් ඔවුන් වෙහෙසුණා. නාලන්දාව වැනි ඔවුන්ගේ සරසවිවල අධ්‍යයන භාෂාව වූයේ සංස්‌කෘතයි. බමුණන් අනේකවිධ තපස්‌ රැක පෙළහර පාන කල්හි මේ ව්‍යාජ සංස්‌කෘත ශ්‍රමණ පඬිවරුන් එයට සමවන්නට යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර ආරම්භ කළා. ජ්‍යෙdaතිෂ විශාරදවරුන් වුණා. වාද විවදයන්ට නිසි නොයෙකුත් න්‍යායන් බිහි කළා. "වාද විවාද පිණිස මාගේ දහම හදාරන්නට ගියහොත් ඔවුන් විනාශ වන්නේ සර්පයා වලිගයෙන් අල්ලන්නට ගොස්‌ විනාශ වන මිනිසා මෙන්" බව අලගද්දූපම සූත්‍රයෙහි වදාළ බුදු වදන ඔවුන් බැහැර කළා.

වාද විවාදවලින් ව්‍යාජ ශ්‍රමණයන් ජය ගත් කල්හි ඔවුන් සව්දිය පිරුවේ එම පෙදෙස්‌ වැසි සියලු බමුණු කැල නාලන්දාවේ දාසයන් බවට පත් කිරීමෙනි. බමුණන් ජයගත් කල්හි ඔවුන් සව්දිය පුරන ලද්දේ සියලු ශ්‍රමණවරුන්ගේ ගෙල සිඳලීමෙනි. මෙසේ කෙමෙන් කෙමෙන් වාද විවාද උග්‍ර වෙමින් තිබියදී නිමල බුදු දහම තමනට අභියෝගයක්‌ වෙතියි සැලකූ මහායානිකයන් වාද විවාද කොට එය ද දඹදිවින් අතුරුදන් කරන ලද්දේය. සුවිසල් රුකක්‌ වසා ගත් පිළල රැසක්‌ පරිද්දෙන් මහායානය පැතිර ගොස්‌ තිබියදී බුදු බව පතන බෝසත් වේශයෙන් ඔවුන් කරන ලද්දේ බුදු සසුන අතුරුදන් කිරීමයි. මෙසේ බමුණන්ගේ අධික වෛරයට පාත්‍ර වූ ව්‍යාජ ශ්‍රමණයන්ගේ ආධ්‍යාත්ම බලය දකුණු දඹදිව උපන් සංකරාචාර්ය නම් වූ අන්තවාදී සිව බැතිමතා විසින් වනසන ලදී. ඉනික්‌බිතිව සියවස්‌ කීපයක්‌ පුරා කෙමෙන් කෙමෙන් වැඩී ආ අන්තවාදී ඒක දේව වාදයෙහි උමතු බලවේගය වන මුසල්මාන් ආක්‍රමණයට බමුණන්ගේ සහය ලැබිණි. "එම්බා මුසල්මානුවෙනි, නුඹලාට මේ රට ගන්නට ඇවැසි නම් කාෂායවස්‌ත්‍රධාරී බියකරු සේනාව වැනැසිය යුතුය. ඔවුන්ගේ යන්ත්‍ර, මන්ත්‍ර, තන්ත්‍ර සහ දර්ශන ඉගැන්වෙන සේනා මූලස්‌ථාන වන නාලන්දාව වැනි තැන් ගිනිබත් කළ යුතුය." යන වදන් ඇසූ ඔවුන් ද තම මතයෙන් උමතුව සේනා සහිත මාරයාගේ සහයෙන් ඔද වැඩී ව්‍යාජ ශ්‍රමණ පරපුර දඹදිවින් අතුගා දමන ලදී. මෙසේ ගෞතම බුදුසසුන දඹදිවින් අතුරුදන් විය. එහෙත් බමුණන්ගේ බිය තුනී වූයේ නැත. ඉන්දීය සයුරෙහි මුතු ඇටයක්‌ තිබේ. එහි නිමල බුදුදහම බබලයි. යම් හෙයකින් ඔවුන් බලවත්ව පැමිණ යළිත් වේදය වනසන්නට පුළුවනි. එයට පෙර එම දිවයින ද වැනැසුව මනාය. ව්‍යවහාර වර්ෂයෙන් නව වැනි සියවසෙහි රාමායණ නම් වූ මිත්‍යා ප්‍රබන්ධය කරන ලද්දේ සිව භක්‌තිකයන් විසිනි. දකුණු දඹදිව සිටි සියලු පැවිද්දන් වැනැසූ බමුණන් විසින් වෙහෙර විහාර සිව මන්දිර බවට පත් කරන ලදී. රාමායණය නිරතුරුව ජප කරන ලදී. තම දෙවියන් යෑයි කියාගත් රාමාගේ බිසව වන සීතා පැහැරගත් රකුසන්ගේ ද්වීපයෙහි සිටි රාවණයා මරා දැමූ අනුහස්‌ නැවත පෙන්විය යුතු යෑයි කියා රජවරුන් පොළඹවන ලදී. ධර්මද්වීපය රකුසන්ගේ ද්වීපය බවට පත් කළ බමුණ දහම පිළිගත් කාලිංගමාඝයා ලක්‌දිව වෙහෙර විහාර වනසා ගිනි තබන ලදී. පර්සියාවෙන් ආනයනය කළ ව්‍යාජ අනුකරණවාදී සිව ඇදහිල්ලෙන් පන්නරය ලැබූ කෲරත්වය විසින් මහායානිකයන්ගේ තන්ත්‍රයානයෙන් උපුටා ගත් කාම පූජා මිශ්‍රකොට ශිවලිංග පූජාව ධර්මද්වීපයෙහි ද පවත්වන ලදී.

පින්වත් දරුවෙනි, ගෞතම ලෝකනාථයන් වහන්සේගේ වදන් සැබෑ කරමින් දකුණින් පහළ වූ පළමුවෙනි විජයබාහු නරපතියා විසින් මෙම දහම් දිවයින අසීරුවෙන් බේරා ගන්නා ලදී. කාලිංගමාඝයාගේ හිංසාවෙන් දුබල වූ සසුන පැරකුම් නරපතියා විසින් යළි ඔසවන ලදී. එහෙත් කෙමෙන් කෙමෙන් ලක්‌ බුදුසසුනත් පැළලුප් නුවරින් පැමිණි ශාක්‍ය පරපුරේ ලේ ධාතුවෙන් මිශ්‍ර වූ හෙළයා දුබල වන්නට විය. පින්වත් දරුවෙනි, ඔබේ සොයුරු ද්වීපය වූ මාලදිවයිනෙහි සියලු ශ්‍රමණ දරුවන් වනසා වෙහෙර විහාර වනසා අන්තවාදී ඒක දේවවාදය මුසල්මානුවන් විසින් ස්‌ථාපිත කරන ලදී. ඔබගේ මෙම රම්‍ය දිවයිනට මුසල්මානුවන්ගේ බැල්ම වැටෙන්නට පළමු ඒක දේවවාදයේ බටහිර අන්තවාදයේ ග්‍රහණයට ඔබේ මුතුන් මිත්තන් හසුවිය. වරින් වර නාමමාත්‍රික වශයෙන් පවා නොසිට පැවිදි ශ්‍රමණයන් අතුරුදන් වූ අවස්‌ථා තිබේ. ගෞතම සසුනට වින කරන මහායාන මතයන් විසින් සසුනෙහි මූලික සංකල්පය උඩු යටිකුරු කරන ලදී. සසරේ බිය තොර කරන ලදී. රාජබලය ද ධර්ම බලය ද නැතිවී ගිය අබල දුබල නිවට නියාලු හරසුන් ජන කැලක්‌ බවට ලක්‌දිව්වැසියන් පත්වන කල්හි ගෞතම සසුන රකින්නට මා මහත් වෙහෙසෙන් සැකසූ සසුන් පරපුර වඳ වී යන කල්හි මා සිත්හි සංවේගයයි උපන්නේ.

ඒක දේවවාදයෙන් වැඩී ගිය ව්‍යාජ විද්‍යා ලෝකය විසින් කාම උමතුව බිහි කරන ලදී. යොවුන් දූ දරුවන් හට දහම සිතීම පවා අකැප කරන ලදී. දහමේ හැසිරීම පවා විලිබිය උපදවන කරුණක්‌ කරන ලදී. ඔවුන්ගේ කාම උමතුවේ ප්‍රේම සුනාමිය ලොව පුරා පතුරුවන ලදී. ගෞතම සසුන තුළින් යොවුන් දරුවන් ලද දෑ අභිමානය හා මානව ගුණය බැහැර කරන ලදී. නමුත් දරුවෙනි, ඒ අකාලික දහමේ ඔබට කියනා මේ සොඳුරු උපදෙස්‌ බලන්න. සිඟාලක දරු හට ලෝකනාථයන් වහන්සේ මේ දහම වදාළ අයුරු කෙතරම් අසිරිමත් දෘ දරුවෙනි, අගති සතරෙකි. එයින් අගතියට නොයන්න. එනම් ඡන්දයෙන් අගතියට යැමත්, ද්වේෂයෙන් අගතියට යැමත්, භයෙන් අගතියට යැමත්, මෝහයෙන් අගතියට යැමත් ය. මා අදරැති දරුවෙනි, අගතියට ගියහොත් ඔබ පිරිහෙන්නේ අඳුරු වී යන සඳක්‌ මෙනි.

දරුවෙනි, දුක කරා යන කරුණු සයෙන් වළකින්න. මත්පැන් හා මත්ද්‍රව්‍ය සේවනය නොකරන්න. නොකල්හි පාර තොටේ ඇවිද නොයන්න. අරුත්සුන් කාම ප්‍රසංගවලින් ධනය වනසා නොගන්න. දූ කෙළියෙහි නොයෙදෙන්න. පවිටු පුද්ගලයන් සමග මිතුරුදම් නොපවත්වන්න. අලසව නොසිටින්න. පින්වත් දරුවෙනි, ඔබ මේවාට ගිජු වුවහොත් මේවා පුරුදු කළහොත් වැනසෙන නිසාවෙනි ඔබේ ශාස්‌තෘ වූ ලෝකනාථයන් වහන්සේ ඔබට එය වදාළේ.

මා අදරැති දරුවෙනි, සැබෑ මිතුරෙක්‌ වන්න. සැබෑ මිතුරා මිතුරාගෙන් කිසිවක්‌ ලබාගැනීම පිණිස ඔහු රවටා ලන මිතුරු වෙස්‌ ගත් "අඤ්ඤදත්ථුහරයෙක්‌" නොවේ. සැබෑ මිතුරා තම මිතුරාගේ වටිනා කාලය සහ ඔහුගේ කාර්යභාරය වැනැසෙන පරිද්දෙන් ඔහු නොමඟ යවන කතාවට නතු කොට ඔහු පමා කරවන "වචීපරමයෙක්‌" නොවේ. සැබෑ මිතුරා ඔහුගේ මිතුරු බව සුරැකිනු පිණිස ඔහු කරන පව අනුමත කිරීමත්, පින අනුමත කිරීමත්, ඔහු ඉදිරියේ ගුණ කීමත්, ඔහු නැති තැන නින්දා කිරීමත් කරන "අනුපියභාණියෙක්‌" නොවේ. සැබෑ මිතුරා සතුටු වන්නේ තම මිතුරා අපායට වැටෙනු දැකීම නොව සුගතියෙහි ඉපදෙනු දැකීමෙනි. එනිසා සැබෑ මිතුරා අපාගතවීමට හේතුවන දෙයින් තම මිතුරාව වෙලා ඔහුගේ ලාභ ප්‍රයෝජන ගැනීමෙහි යෙදෙන "අපාය සහායක" මිත්‍රයෙක්‌ නොවේ.

පින්වත් දරුවෙනි, කළණ මිතුරෙක්‌ වන්න. කළණ මිතුරා තම මිතුරාව නොමඟින් රැක ගනියි. ඔහු යහපතේ යොදවයි. ඔහු අනතුරෙන් බේරයි. පවින් වළක්‌වයි. අකුසලයෙන් වළක්‌වයි. පෙර නොඇසූ දහම අසන්නට සලස්‌වයි. පිනෙහි යොදවයි. සුගතියට මග කියා දෙයි. සැබෑ මිතුරා තම මිතුරාගේ පිරිහීම ගැන නොසතුටු වෙයි. දියුණුවෙහි තුටු වෙයි. මිතුරාට අභූත චෝදනා කිරීමට ඉඩ නොදෙයි. ඔහුගේ ගුණ මතු කරයි. එවැනි මිතුරෙක්‌ වෙන්න.

මා ප්‍රිය දරුවෙනි, දැහැමි දරුවන්ගේ පෙරදිග දිශාව නම් මවුපියන්ය. දකුණු දිශාව නම් ආචාර්යවරුන්ය. බටහිර දිශාව නම් අඹුදරුවන්ය. උතුරු දිශාව නම් මිතුරන්ය. යට දිශාව නම් සේවකයන් ය. උඩ දිශාව නම් ශ්‍රමණ බමුණන් ය. පින්වත් දරුවෙනි, කිසිදා මවුපිය ද්‍රෝහියෙක්‌ නොවෙන්න. ඔබ දුබල මාපියන් සුරකින්න. ඔවුන්ගේ කටයුතුවලට සහාය වෙන්න. කුල පරපුර රැකගන්න. මාපිය වස්‌තුව සුරකින්න. සුගති ගමනට සහය වෙන්න, සැබෑ කුල දරුවෙක්‌ වෙන්න.

මා ප්‍රිය දරුවෙනි, කිසිදා ආචාර්ය ද්‍රෝහියෙක්‌ නොවෙන්න. ආචාර්යවරයා ඔබව හික්‌මවයි. ඔබට තම දහම උගන්වයි. විනයෙහි පිහිටුවයි. උසස්‌ පුද්ගලයන්ට ඔබව හඳුන්වා දෙයි. සමාජයට ඔබව හඳුන්වා දෙයි. එනිසා ආචාර්යවරුන් දැක හුනස්‌නෙන් නැගිටින්න. උවටැන් කරන්න. වතාවත් කරන්න. සකසා ඉගෙන ගන්න. ආචාර්ය ගෞරවයෙන් යුතු වෙන්න.

පින්වත් දරුවෙනි, ලෝකනාථ වූ ඔබේ ශාස්‌තෘන් වහන්සේ ඔබට භව සයුරෙන් එතෙරවීමට පමණක්‌ නොව, සුගතියෙහි ඉපදීම පිණිස ද පිහිට වූයේ ලොව දකිනා එකම ඇස උන්වහන්සේ නිසාවෙනි. පින්වත් දරුවෙනි, වැලන්ටයින් නම් වූ මිත්‍යා කාම මායාවට හසු නොවී තිලොවග ගුරු වූ ගෞතම සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවෙක්‌ වී උන්වහන්සේව මුළු හදවතින්ම සරණ යන්න. ලොවෙහි යථාර්ථය දැකීම සත්‍යයට ආශා කරන අප සියලු දෙනාටම අයත් අද්විතීය උරුමයකි. ඒ උරුමයට ආශා කරන්න. ඔබේ රම්‍ය දිවයිනට ගෞතම බුදුරජුන්ගේ සොඳුරු දහම හඳුන්වා දී මාගේ මුළු දිවිය ම ඔබේ පරපුර සුවපත් කරන්නට කැපවූ නිසාවෙනි ඔබට මේ ලියන්නේ. නිවන් පුර සිට ඔබ අමතන මා, ඔබේ අදරැති මෙත් සිතිනි මිහිඳු මා හිමි...!

සසර පින පතළ කළ අසමසම රූ මහිම




කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි

බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වීමට පෙර ලෝකයේ ‘බුද්ධ කෝලාහලයක්’ පැතිරී යනවා. බුදු කෙනෙක් පහළ වන්නට පෙර ලෝකයේ මිනිසුන්ගේ ගතිගුණවල විශාල පරිවර්තනයක් සිදුවනවා. අප මේ බුද්ධ කාලයේ ඉතිහාසය පරීක්ෂා කර බැලීමේදී පෙනෙනවා මුලින්ම තිබුණේ වේදග්‍රන්ථ ඇදහීම බව. ඊට පස්සේ ඒක ඊට වඩා ප්‍රගතිශීලි මට්ටමින් ‘ බ්‍රාහ්මණ’ නමින් දියුණු වුණා. ඊට පස්සේ උපනිස කියලා මිනිසුන් කල්පනා කර ගොඩනගාගත් ආගමික මතිමතාන්තර තම තමන්ම ප්‍රශ්නකර විසඳන යුගයක් ඇතිවුණා. ගුරුවරයා ළඟ ගෝලයා නතර වී ඉගෙන ගන්න කාලයක් ආවා.

එවැනි කාල පරිච්ඡේදයක බුදු කෙනෙක් පහළවීම පිළිබඳ දෝංකාරයක් පැතිර යද්දී සෘෂිවරු නිරන්තරයෙන්ම සොයන්න ගත්තා කවුද මේ බුදුකෙනා? බුදුවරයකුගේ ලක්ෂණ මොනවාද? බුදුවරයකු සොයාගන්නේ කෙසේද? කියලා.

ඔබ දන්නවා සෘෂිවරු විසින් නොයෙක් ආකාරයේ වේදග්‍රන්ථ, ආයුර්වේද ආදිය නිපදවලා තිබෙනවා වගේ, ලක්ෂණ ශාස්ත්‍රයත් නිපදෙව්වා. එහි තිබෙන්නේ ශාරීරික අංග ලක්ෂණ වලින් බුදුවරයකු හඳුනාගන්නා ආකාරය යි. මේ ලක්ෂණ ශාස්ත්‍රය ඒ කාලයේ බොහෝ බ්‍රාහ්මණ පණ්ඩිතවරු හදාරලා තිබුණා. මේ ලක්ෂණ ශාස්ත්‍රය වෙනම විෂයයක්.

හැබැයි, ඒ වනකොට බොහෝ දෙනා දැනගෙන සිටියා මේ මහපුරුෂ ලක්ෂණ තිස්දෙකම තිබෙන කෙනා බුද්ධත්වයට පත්වනබව. ගිහි ගෙදර සිටියොත් චක්‍රවර්ති රජ බවට පත්වෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ නමක් බාහිර ලෝකයාට දැනගන්නට තිබෙන මූලික කාරණයක් ලෙස ප්‍රකට වුණේ් මහ පුරුෂ ලක්ෂණයි. ඉතිං ඔබත් ඒ පුරුෂ ලක්ෂණ හිමි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි සිත පහදවා ගන්න.

බුදු න්වහන්සේට මේ මහා පුරුෂ ලක්ෂණ හිමිවන්නට හේතුවූයේ සම්බුද්ධත්වයට පත්වීමට ප්‍රථම මනුෂ්‍ය ලෝකයේදී පෙර ගත කළ බොහෝ ජීවිතයන්හිදී සිදු කළ කායික, වාචික මානසික පුණ්‍ය කර්මයන්ගේ බල මහිමය යි.

මෙහි එක් ප්‍රතිඵලයක් වන්නේ මනුලොවින් චුත වී බොහෝ කාලයක් සැප ඇති සුගතියේ ඉපදීමයි. එහි අනෙක් ප්‍රතිඵලය වූයේ බුද්ධත්වයට පත්වන මනුෂ්‍ය ජීවිතයේදී මේ මහා පුරුෂ ලක්ෂණවලින් යුක්ත දේහයක් හිමිවීමයි. භාග්‍යවතුන් වහන්සේම උන්වහන්සේගේ මහාපුරුෂ ලක්ෂණ එකින් එක ශ්‍රාවක පිරිසට විස්තර කර දී තිබෙනවා.

භාග්‍යවතුන් වහන්සේ පෙර ගතකළ බොහෝ ජීවිතවලදී කාය සුචරිතයේ, වාග් සුචරිතයේ හා මනෝ සුචරිතයේ යෙදීම නිසා එහි පුණ්‍ය විපාකය ලෙස උන්වහන්සේට මනාව පිහිටි සිරිපා යුග හිමි වුණා.

අමනුෂ්‍යයන්ගෙන්, සොරුන්ගෙන් සිදුවිය හැකි උවදුරු වළක්වා බොහෝ දෙනාට දැහැමි රැකවරණය සළසාදීමත් බොහෝ පිරිවර සහිතව දන්පැන් පූජා කිරීමත් ආදී පුණ්‍ය කර්මවල විපාක හේතුවෙන් සක් ලකුණින් සැදි සොඳුරු පා යුගද හිමි වුණා.

පෙර බොහෝ ජාතින්හිදී ප්‍රාණඝාතයෙන් වැළකී සිට ප්‍රාණඝාතයට ලැජ්ජා ඇතිව, දඬුමුගුරු භාවිතා නොකර සියලු සතුන් කෙරෙහි හිතානුකම්පීව වාසය කිරීම හේතුවෙන් උන්වහන්සේට දික් ඇඟිලිත්, බ්‍රහ්මයකු සේ සෘජු වූ දේහ විලාසයකුත් හිමි වුණා.

රසවත් වූ ආහාර, වැළඳිය හැකි ප්‍රණීත දෑ , අෂ්ටපාන වර්ග ආදිය බොහෝ දෙයින් දන් දීමෙන් රැස්කරගත් පුණ්‍ය මහිමයෙන් උන්වහන්සේට පිරිපුන් මාංශයන්ගෙන් යුතු සත් තැනකින් උස් වූ දේහ විලාසයක් හිමිවුණා.

දානයෙන්, පි‍්‍රය වචනයෙන් බොහෝ දෙනාට හිතසුව පිණිස පවතින අර්ථචරියාවෙන් හා සමානාත්මතාවයෙන් යන සතර සංග්‍රහ වස්තුවලින් සෑම කෙනෙකුටම සංග්‍රහ කිරීමේ විපාකයෙන් උන්වහන්සේට මේ මනුලොවදී මත්තෙහි ගොප් ඇට ඇති පායුගත්, උඩුකුරු වූ අංජන නීල ලෝමත් හිමිවුණා.

පෙර බොහෝ ජීවිතවලදී උන්වහන්සේ විවිධ ශිල්ප විද්‍යා ධර්ම ශාස්ත්‍ර මනාව දැනගෙන අන් අයට කරුණාවෙන් ක්‍රමානුකූලව ඉගැන්වූවා. එහි පුණ්‍ය විපාකයක් ලෙස ඕලු මුවන් ගේ බඳු කෙණ්ඩා උන්වහන්සේට හිමිවුණා.

කුසලය යනු කුමක්ද? අකුසලය යනු කුමක්ද? කුමක් වරද සහිතද? කුමක් වරද රහිත ද? කුමක් සෙවිය යුතුද? කුමක් නො සෙවිය යුතුද? මා විසින් කුමක් කිරීමෙන් බොහෝ කල් හිතසුව පිණිස පවතින්නේ ද? යනාදී කරුණු කාරණා ගැන නැවත විචාරමින් අකුසලයෙන් දුරු වී, කුසල් දහම් වැඩු නිසා උන්වහන්සේට දුහුවිලි පොදක් තරම්වත් නො රැඳෙන ඉතා සියුම් සොඳුරු සමක්ද හිමි වුණා.

නොකිපෙන සුළුව නො ගැටී, ක්‍රෝධ රහිතව, නො කිපුණ සිත් ඇති ව වාසය කිරීමත්, සියුම් වූ මෘදු වූ ඇතිරිලි, පොරෝන, සියුම් ලෙස ෂයන ලද පලස් ආදී බොහෝ දේ දන් දීම නිසාත්, උන්වහන්සේට රන්වන් පැහැයෙන් බබළන සමක් හිමි වුණා.

මව හා පුතු ද, පුතු හා මවද, පියා හා පුතු ද, පුතු හා පියාද, සොහොයුරා හා සොයුරියද, සොයුරිය හා සොයුරාද, වශයෙන් අසමගියෙන් සිටි පිරිස් සමගි කර, ඔවුන්ගේ එකමුතුව දෙස බලා බොහෝ සතුටට පත්වීම නිසා එහි විපාක වශයෙන් කෙමියක බහා ලූ දෙයක් බඳු පුරුෂ නිමිත්ත හිමිවුණා.

පෙර බොහෝ භවයන්හි දී මහජනතාවට සංග්‍රහ කිරීමේදී, මොහු මෙයට සුදුසු ය, මෙම පුද්ගලයා සංග්‍රහයට සුදුසු ය ආදී වශයෙන් ඒ ඒ පුද්ගලයා ගේ ස්වභාවය මැනැවින් තේරුම් ගෙන ඒ ඒ පුද්ගලයන්ට සම සිත් ඇතිව සංග්‍රහ කිරීමේ පුණ්‍ය විපාක ලෙස නුග රුකක් සේ උස මහතින් සම වූ දේහයකින් යුතුව සිටගෙන සිටියදීම අත්වලින් දණ මඬල පිරිමැදීමටත් උන්වහන්සේට හැකි වුණා.

පෙර බොහෝ ජීවිතවලදී උන්වහන්සේ මෙත් සිත පුරුදු කළා. මේ සත්ත්වයන් කෙසේනම් ශ්‍රද්ධාවෙන් සීලයෙන්, ධර්ම ශ්‍රවණයෙන්, ත්‍යාගයෙන්, ප්‍රඥාවෙන් දියුණු වන්නද? ධනයෙන් දියුණු වෙන්නද? දෙපා සිවුපා ආදී සතුන්ගේ අඹුදරුවන්ගේ නෑදෑයන්ගේ මිතුරන්ගේ සම්බන්ධතා කෙසේ දියුණු වෙයිද? මේ ආකාරයට කරුණාවෙන් සියලු දෙනාට හිතසුව පිණිස, සැප පිණිස, හේතුවන පරිදි මෙත් සිතින් ජීවත් වුණා. එනිසා සිංහ රාජයකු සේ අභිමානවත් දේහයත් සමව වට වූ දේහයත්, මසින් පිරුණු පිටකරත් හිමිවුණා.

දඬු මුගුරු අවි ආයුධ ආදිය භාවිතා කර හෝ සත්ත්වයන් පීඩාවට පත්වන ස්වභාවයේ කිසි ක්‍රියාවක් සිදු නො කිරීමේ පුණ්‍ය විපාකයෙන් ආහාරය සමව රස විඳිය හැකි අග්‍ර රස නහර හිමිවුණා.

උන්වහන්සේ ගත කළ බොහෝ ජීවිතවලදී කිසි කෙනකු දෙස කෝපයෙන් ඇස් ඔරොවා හෝ හිස් ඇල කොට ඇස් කොණින් බැලීම හෝ සිදු නොකර සෘජු ලෙස, සෘජු සිත් ඇතිව ඇස් විවෘත කොට සෑම කෙනෙක් දෙසම යහපත් චේතනාවෙන්, පැහැදිලි දෙනෙතින් බැලූ නිසා නිල්වන් වූ පිරිපුන් ඇස් ගොබ උන්වහන්සේට හිමිවුණා.

කාය සුචරිතය, වචී සුචරිතය, මනෝ සුචරිතය දන්දීම, සීල සමාදානය, පෙහෙවස් සමාදන්වීම මවට පියාට උපස්ථාන කිරීම මහණුන් පිදීම ආදී කුසල කර්ම නිසා පිරිපුන් නළල් තලයක් හිමි වුණා.

බොරු කීමෙන් වැළකී සිට සත්‍යවචන කතා කරමින්, විශ්වාසයෙන් යුතුව අන් අයට පිළිගත හැකි වචන කථා කරමින් ලෝකයා රවටන්නා වූ වචන කථා නො කරමින් බොහෝ ජීවිතවල වාසය කිරීමේ හේතුවෙන් දෙබැම අතර ඌර්ණ රෝම ධාතුවත්, එක් ලෝම කූපයකින් එක් ලෝමය බැගින් ඇති වීමත් හිමි වුණා.

කේලාම් බසින් වැළකී, අන් අය බිඳවීමක් නොකර, කිසිවකු බිඳවීම පිණිස වෙනත් අයද පෙළෙඹවීමක් නොකර, සමගියෙන් සිටින අය තවත් සමඟි කිරීමේ සහ සමගිවූ අය දැක සතුටු වීමේ හේතුවෙන් උන්වහන්සේට හිදැස් රහිත වූ දත් සතළිහක් හිමි වුණා.

සැඩපුරුෂ වචනයෙන් වැළකි කණට පි‍්‍රය වූ සිතට සැනසිලි වූ නිර්දෝෂි වූ වචන බොහෝ ජීවිතවල කථාකළ නිසා බ්‍රහ්මයකු සේ ගැඹුරු හඬ ඇති කුරවි කොවුළකු ගේ හඬ බදු බ්‍රහ්ම ස්වරයත්, දික් වූත් පුළුල් වූත් දිවත් හිමි වුණා.

අර්ථ පිණිස නොපවතින වචනවලින් වැළකී සත්‍ය වචන කථා කර අන් අයට වැඩ සලසන කුසල් උපදවන වචනම කථා කළ හෙයින් සිංහයකුගේ මෙන් පිරිපුන් උඩු හා යටි හණු හිමි වුණා.

ගතකළ බොහෝ ජීවිතවල දී සිදු කළ කර්මාන්ත වෙළෙඳාම් ආදියෙහි දී කිරුම් මිනුම් වලදී වංචා නොකර, අල්ලස් නො ගෙන නොයෙක් උපාය සිදු කර අන් අය රවටා හෝ සැඟ වී අන්සතු දේ උදුරා ගෙන හෝ මිථ්‍යා ජීවයෙන් වැළකී සිට යහපත් ජීවිකාවෙන් වාසය කළ නිසා උන්වහන්සේට සුදෝ සුදු සම දත් හිමි වුණා.

ඉතින් මේ මිහිමත වැඩසිටිය මේ උතුම් සම්බුදුරජාණන් වහන්සේට හිමි වී තිබුණු මහා පුරුෂ ලක්ෂණ එසේ හිමි වූයේ, බුද්ධත්වයට ප්‍රථම ගතකළ මිනිස් ජීවිතවල දී රැස්කළ මහා පුණ්‍ය ධර්මවල ප්‍රතිඵල ලෙස බව වටහාගෙන කුසල සම්පන්න, සීලවන්ත, පින්වන්ත ජීවිත ගත කිරීමට ඔබත් අධිෂ්ඨාන කර ගන්න.


සටහන
නයනා නිල්මිණි

උපුටා ගැනීම : http://www.lakehouse.lk/budusarana/2010/02/13/tmp.asp?ID=vision02